අද මධ්‍යම පළාතේ පාසල් අධ්‍යාපනයට අතිශය වැදගත් හා සුවිශේෂ දිනයක් බවත්, එය මධ්‍යම පළාතේ පාසල් අධ්‍යාපනයේ අභිනවාරම්භයක් සළකුණු කරන්නක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. තමා දකුණු පළාතේ සිට මධ්‍යම පළාතට පැමිණෙන්නේ එහි වූ අධ්‍යාපනික ජයග්‍රහණ යථාර්ථයක් බවට පත් කරලීමේ ද අටියෙන් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ මහනුවර හේමමාලි බාලිකා විදුහලේ ප්‍රාථමික අංශය මාපනාවතුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කිරීම නිමිත්තෙන් අද දින (01) පෙරවරුවේ එහි පැවැති චාම් හා අභිමානවත් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සම්බන්ධිකරණ නිලධාරීන්ගේ ද , පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන්ගේ ද , පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ හා පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ද පැවැති මේ උළෙලට හේමමාලි ආචාර්ය මණ්ඩලය ද , සිසුවියන් ද එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ හේමමාලි විදුහල්පතිනි තුෂාරි ජයරත්න මහත්මිය එහි ප්‍රාථමික අංශයේ ගැටලු කෙරෙහි තමාගේ සෘජු අවධානය යොමු කළ බවත්, එහි සිසුවියන් ඉතා අඩු ඉඩ කඩක අසීරුවෙන් අධ්‍යයන කටයුතු සිදු කරන බව එහිදී තමාට පසක් වූ බවත්, ඊට සුදුසු විසඳුමක් ලබා දීම පිණිස තමා අදාළ බලධාරීන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කළ බවත් ය. එහි ප්‍රතිඵලයක් ලෙස යම් අක්‍රිය තත්ත්වයක පැවැති මාපනාවතුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය හේමමාලි ප්‍රාථමික අංශය සඳහා ලබා ගැනීමට හැකි වූ බව ද ඔහු සඳහන් කර සිටියේ ය. මේ අනුව අනාගත හේමමාලිය මහ පොළොවට, පරිසරයට හා දේශයට ආදරය කරන විද්‍යාර්ථීන්ගේ කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවට ද ඔහු සිය විශ්වාසය පළ කර සිටියේ ය.
උළෙල අමතමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය විද්‍යාත්මක ප්‍රවේශයකින් සිදු කළ බව යි. මෙම තීන්දුව සම්බන්ධයෙන් මතු කළ ඇතැම් දුර්මත මේ වන විට අවලංගු වී ඇති බව ද ඔහු කියා සිටියේ ය. පළාතේ පාසල් අධ්‍යාපනයේ ප්‍රගතිය පිණිස හේමමාලියේ මෙම නව ප්‍රවිෂ්ටය හේතු වන බවට ඔහු ද විශ්වාසය පළ කළේ ය.
සහකාර විදුහල්පති කෝමාරිකේ රාහුල ස්වාමීන් වහන්සේ හේමමාලියේ මෙම නව එළඹුමට සෙත් පතා ආශීර්වාද කළහ.
විදුහල්පතිනි තුෂාරි ජයරත්න මහත්මිය උළෙලේ අරමුණ පැහැදිලි කරමින් පිළිගැනීමේ කතාව සිදු කළා ය. උළෙල අවසන ස්තුති කතාව සිදු කරන ලද්දේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා වන්දනා රාජපක්ෂ සිසුවිය යි.