ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක Code club sri lanka වැඩසටහනට ගලේවෙල මහජන පුස්තකාලය ද එක් කෙරේ .
ඒ අනුව ගලේවෙල මහජන පුස්තකාලය හා ඉ-නැන පියස ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පුර්ණ සහයෝගය ඇතිව පසුගියදා (09) දින සිට ආරම්භ කෙරෙණි . මෙමගින් නව තාක්ෂණික දැනුම සිසුන් ට ලබා දීම අපේක්ෂා කෙරෙන අතර STEMUP අධ්‍යාපන ආයතනය (එම ආයතනය ට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් ) පාඨමාලාව මෙහෙයවනු ලබයි. එයට අනුග්‍රාහකත්වය ලබා දෙනුයේ SLT Mobitel, Raspberry pi යන ආයතනයි . මසකට වරක් නොමිලේ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන අතර මාස 12ක් අවසානයේ දී පිළිගත් සහතිකයක් පිරිනමේ coding, programing,web development යන වැඩසටහන් සදහා ඉදිරියේදි සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්ඡාව.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නුවරඑලිය, පළාත් පාලන සහකාර කොමසාරිස් වයි.පී. විජේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන්, නුවරඑලිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු සාකච්චාවක් පසුගිය 08 දින නුවරඑලිය මහා නගර සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
නුවරඑලිය මහා නගර සභාව ඇතුළු නගර සභා ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන 12ක නාගරික කොමසාරිස්, ලේකම්වරුන් සහ විෂය නිලධාරීන් මේ සඳහා සහභාගීව සිටි අතර පළාත් පාලන ආයතන වෙතින් මහජනතාවට සේවාවන් සැපයීමේදී ඔවුන් එදිනෙදා මුහුණදෙන ගැටළු රැසක් මෙහිදී සාකච්චා වූ අතර එම ගැටළු සඳහා ලබා දියහැකි කෙටි කාලින හා දිගු කාලින විසඳුම් පිළිබඳව අවධානය යොමු විය.
- තලාතුඔය සරණංකර විද්‍යාලය සිය කුළුඳුල් සමස්ත ලංකා ජයග්‍රහණය හිමිකරගනී -
සමස්ත ලංකා සංගීත තරඟය 2024 - ශෛලිගත නාට්‍ය ජවනිකා සමූහ/ විශේෂ /ගැහැණු සිංහබාහු නාට්‍ය තරඟ අංශයෙන් 300 ට අඩු පාසැල් තරඟ ශීර්ෂයෙන් දිවයිනේ පළාත් 8ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගෙන එදිරිවීර සරත්චන්ද්‍ර සම්මානය පාසැලට හිමිකර දීමට ම/ප තලාතුඔය, බූටාවත්ත ශ්‍රී සරණංකර කණිෂ්ඨ විද්‍යාලයේ සෞන්දර්ය අංශය (සංගීත) නියෝජනය කළ සිසු දියණියන්ට හැකිවිය.
එම දැරියන් පිළිගැනීම සඳහා සංවිධානය කල උත්සවයක් පසුගිය 08 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා මහනුවර අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය විෂය ගුරු උපදේශක නිහාල් තිලකරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්, මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා බූටාවත්තේ සරණංකර ස්වාමින්වහන්සේ නියෝජනය කරමින් පැමිණි මැලේසියානු ජාතික ආරාධිතයින් පිරිසක්, මහ/ විද්‍යාර්ථ විද්‍යාලයේ නාට්‍ය කලා ආචාර්ය සමන් ලියනාරච්චි ගුරු මහතා, එම විදුහලේ අසල්වැසි පාසල්වල විදුහල්පතිවරුන් කිහිපදෙනෙක්, විදුහල්පති සුභානී රණතුංග මහත්මිය ඇතුළු විදුහලේ ගුරු මණ්ඩලය දරු දැරියන් සහ දෙමවුපියන් පිරිසක් සහභාගීව සිටියහ.
සරණංකර විද්‍යාලයීය ඉතිහාසයේ සිය කුළුදුල් සමස්ත ලංකා ජයග්‍රහණයට හිමිකම් කියමින් එම විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දීමට එම දියණියන්ට හැකිවීම මෙහි සුවිශේෂ කරුණ වේ.
එම තරඟ පසුගිය 02 වන දින කොළඹ ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති පිරිමි විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එහිදී බූටාවත්ත ශ්‍රී සරණංකර විද්‍යාලය වෙනුවෙන් ශෛලිගත නාට්‍ය ජවනිකා සමූහ/ විශේෂ /ගැහැණු සිංහබාහු නාට්‍යයේ වගුරට නරනිඳු ගීතය ඉදිරිපත් කළ ශලිනි, හංසිකා, දැහැමි, ප්‍රසාදි, අනෝමා, ජනනි, මදූෂිකා, හිමායා, දිල්මි, දුල්මිණි, යන සිසුවියන් විසින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.
මේ සඳහා දරුවන් මෙහෙයවමින් පුහුණු කළ විද්‍යාලයීය සංගීතාචාර්යනී විජිත මල්ලිකා ගුරු මහත්මිය ඇතුළු ඒ සඳහා ඇපකැප වී කටයුතු කල සුභානී රණතුංග විදුහල්පතිතුමියගේ මඟපෙන්වීම යටතේ, ආචාර්ය මණ්ඩලයේ පූජ්‍ය තෙරිපැහැ සරණසිරි ස්වාමීන් වහන්සේ සහ සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඇතුව මෙම තරඟය සඳහා සහභාගි වී ඇත.
එමෙන්ම එම පාසලේ නිත්‍ය සුභ පතන්නෙකු වන මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා බූටාවත්තේ සරණංකර ස්වාමීන් වහන්සේ විසින් තරඟයට සහභාගීවීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය හා සියලුම පහසුකම් ලබා දී ඇත.
තරඟයකට වාදනය කළ හැකි මට්ටමින් සංගීත භාණ්ඩ එම විද්‍යාලයේ නොමැති පසුබිමක තම වටිනා කාලය මේ සඳහා කැපකරමින්, මෙම දරුවන් පුහුණු කල හා අංග රචනයෙන්, සහය වාදනයෙන් තම පාසැලේ දරුවන් ලබා දුන් මහ/ විද්‍යාර්ථ විද්‍යාලයේ නාට්‍ය කලා ආචාර්ය සමන් ලියනාරච්චි ගුරු මහතාටත්, එම විදුහලේ විදුහල්පති ලුතිනන් කර්නල් එම්.ආර්.පී.මායාදුන්න මහතා ඇතුළු එම දරුවන්ටත්, දෙල්ගොඩ මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු එම විද්‍යාලයේ විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, විශේෂ ස්තූතියක් පුද කර සිටින බව සරණංකර විද්‍යාලයීය විදුහල්පති සුභානී රණතුංග මහත්මිය සඳහන්කර සිටියාය.
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් නාඋල නාලන්දා විද්‍යාලයේ දී.
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සද්මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් නාඋල නාලන්ද මහා විද්‍යාලයේ දී පසුගියදා (06) පැවැත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ සිසුන් දැනුවත් කෙරිණි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.නාඋල අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.එස්. බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත් වූ මෙම වැඩසටහනට,විද්‍යාලයේ විදුහල්පති ආර්. ජී. ආර්.එල්.රාජමන්ත්‍රී මහතා, මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මානව හිමිකම් පිළිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී (07) දින පැවැත්විණි.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, සෑම දෙනාටම සෑම අයිතිවාසිකමක්ම සමානව තිබෙන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන මෙවන් අවස්ථාවක ඒ සඳහා සෑම දෙනාගේම සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.
ජාති ආගම් කුල, භුගෝලිය, ආර්ථික ආදි කිසිදු භේදයකින් සියලු දෙනාම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමාන අයිතිවාසිකම් දරමින් කටයුතු කළ හැකි රටක් ගොඩනගා ගැනීමට අවස්ථාව එළඹි තිබෙන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මෙම වැඩසටහනේ දී මානව හිමිකම් සුරක්ෂිත කිරිමේ යන්ත්‍රණය හා දායකත්වය මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් අධිනීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ද මානව හිමිකමි කොම්ෂන් සභාවේ කාර්ය භාරය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ පැමිණිලි හා විමර්ෂණ අධ්‍යක්ෂ ලාල් වීරසිංහ යන මහත්වරුන් විසින් දැනුවත් කිරීම් සිදුකරන ලදි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, නිහාල් අලහකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමැආරච්චි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ විරන්ජන් සුමනසේකර යන මහත්වරුන් රාජ්‍ය නිලධාරින්, පොලිස් හා බන්ධනාගාර නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
