පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. බාලක බාලිකා අංශ ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය පුරා සිව් දිනක් (21,22,23,24) පැවැත් වෙන අතර , සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා මධ්‍යම පළාතෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වේ.මෙම තරගාවලිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ උපදෙස් මත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කෙරේ.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය මහනුවර උසස් බාලිකා විදුහලට.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් බාලිකා ශූරතාවය මහනුවර උසස් බාලිකා විදුහලට. මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් විය. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් මධ්‍යම පලාතෙන් සුදුස්සන් තෝරා ගැනීම සදහා පැවති මෙම තරගාවලිය පසුගියදා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ජිම්නාස්ටික් පිටියේදී පැවැත්විණ.මෙම තරගාවලියේ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් වූ අතර ශුරතාවය හා අනුශුරතාවය දිනු උසස් බාලිකා විද්‍යාලයේ හා මහාමායා බාලිකා විද්‍යාලයේ ජිම්නාස්ටික් කණ්ඩායම් පුහුණුකරු ලෙස අමල් රසාංග මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවති මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රිඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 20දින පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය. පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය. අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරන ලදී. ඉන් අනතුරව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර , පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. “ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කරන ලද අතර ඉතිහාසයේ ලබාදුන් වැඩිම මුදල වන රුපියල් මිලියන 10.5ක මුදලක් පෙරහර භාරය විසින් මෙවර ලබාදීම ද විශේෂත්වකි. මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විම මෙහිදී සිදු වූ අතර , ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දීම ද සිදු කෙරින. මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් මෙහිදී සිදු කරණ ලදී.

Visit Kandy 2024 දෙවන දිනයටත්.

Visit Kandy 2024 දෙවන දිනයටත්. මධ්‍යම පළාත් වෙළද වානිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් Visit Kandy වෙළද ප්‍රදර්ශනය දෙවන දිනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර K.C.C ආයතනයේදී (19) ආරම්භ කෙරිණි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව සංවිධානය කරනු ලබන මෙහිදි සම්ප්‍රදායික උඩරට, පහතරට සහ සබරගමුව නර්තනාංග, බෙර වාදන ඇතුළු දේශීය නර්තනාංග, අංගම්පොර ඇතුළු අංග රැසකින් සමන්විත වූ විශේෂ සංදර්ශනයක් සංවිධානය කර තිබිණී. මෙම සංදර්ශන‍යේ ඉදිරිපත් කළ අංග දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ශනයට ලක් වූහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.

රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පදවි අක්තපත්‍ර ප්‍රදාන උත්සවය.

රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පදවි අක්තපත්‍ර ප්‍රදාන උත්සවය. රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පදවිය පත් වූ ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත මැදමහනුවර, සදගිරි තපෝවන පිරිවෙන් කෘත්‍යාධිකාරී පුජ්‍ය අංකුඹුරේ පේමවංස ස්වාමීන්වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීම පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී (18) පැවැත්විණි. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ත්‍රිපිටක ,විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල මහා හිමියන්ගේ මුලසුන හෙබ වූ මෙම උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදි සංවිධානය කළ විශේෂ පෙරහැරකින් වැඩම කළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපුජ්‍ය අංකුඹුරේ පේමවංස හිමියන් වෙත අක්තපත්‍රය පිළිගැන්වීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණු අතර විජිනිපත පිළිගැන්වීම හිටපු කතානායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා විකායාරක්ෂක සභාවේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසින් සිදුකෙරිණි.මෙම අවස්ථාවට මල්වතු, අස්ගිරි, අමරපුර යන නිකායන් වල අනුනායක ස්වාමින්වහන්සේලා හා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස අත්තනායක, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook