පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය ඓතිහාසික නාථ දේවාලය පරිශ්‍රයේදී.

හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය ඓතිහාසික නාථ දේවාලය පරිශ්‍රයේදී. හිස තෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් රාජ්‍ය උත්සවය සියම් මහානිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී (15)පෙරවරු 10.17ට යෙදුණු සුභ මොහොතින් දකුණු දිශාව බලා හිස තෙල් ගැල්වීම සිදු විය. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිත සිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හිස තෙල් ගැල්වීම සිදුවිය. එම නැකතට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කණ්ඩුල සහ මිගාර ඇතුන්ගේ හිස තෙල් ගැල්වීම ද එහිදී සිදුවිය. හිස තෙල් ගැල්වීමේ මහෝත්සවය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතාගේ උපදේශකත්වයෙන් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාව සඳහා නාථ දේවාල බස්නායක නිළමේ එස්. ඩී බණ්ඩාරනායක මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජයන්ත හේරත් මහතා, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද සිට.

බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද සිට. මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ විසින් සංවිධානය කළ බක් මහේ මහා අලෙවි හා වෙළඳ ප්‍රදර්ශනය අද (08) මහනුවර, බෝගම්බර පැරණි බන්ධනාගාරයේ උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ විය.මෙම අලෙවි ප්‍රදර්ශනය මධ්‍යම පළාත් කලාපීය ආර්ථක සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරීය මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණි.මධ්‍යම පළාතේ ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සංවිධානය කළ මෙම අලෙවි ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායකයින් සියයකට අධික පිරිසකගේ කුටි අසුවකින් සමන්විත වන අතර ප්‍රදර්ශනය ලබන අප්‍රේල් මස 10 වැනි දින දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා විවෘතව පවති.මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී නිමි ඇඳුම්, රෙදිපිළි වර්ග, ආහාර පාන, කැවිලි වර්ග, මල්පැල, පාවහන්, බෑග් වර්ග හා අතකම් නිෂ්පාදන රැසක් නිෂ්පාදන රැසක් පහසුමිලට, නිෂ්පාදකයිගෙන්ම මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබේ.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ලංකා බැංකුවේ මධ්‍යම පළාත් මහා කළමනාකාරු, සරත් විජේසිංහ, මහවැලි රීච් හෝටලයේ, නේවාසික කළමනාකරු රොඩ්නි ආම්ස්ට්‍රෝන්, යන මහත්වරුන් සහ සහකාර අධ්‍යක්ෂිකා එන්.ඩබ්ලිව්. ලක්ෂ්මී මහත්මිය ඇතුළු ව්‍යවසායකියන් පිරිසක් සහභාගී වූහ

දීර්ඝ කාලීනව නොවිසදී පැවති ඉඩම් ගැටළුවලට විසදුම්.

දීර්ඝ කාලීනව නොවිසදී පැවති ඉඩම් ගැටළුවලට විසදුම් ලබාදෙමින් විල්ගමුව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට තමන් භූක්ති විදින ඉඩමට නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීමේ වැඩසටහන 04 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. එහිදී හෙට්ටිපොල, මොරගහ උල්පත, නාගොල්ල, සුළුගුණ යන ග්‍රාම නිලධාරී වසම් වල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොතිබූ ජනතාවට මෙසේ බලපත්‍ර ලබාදීම සිදුකරන ලද අතර මෙලෙස ඉඩම් ගැටළු පවතින පිරිස් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන 'උරුමය' ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී ඉඩමේ හිමිකම සහිත ඔප්පුවක් ලබාදීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.මෙම අවස්ථාව සදහා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත උදේශ් දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

කොන්ක්‍රීට් ඉදිකිරීමි සම්බන්ධයෙන් පුහුණු වැඩමුළුවක්.

කොන්ක්‍රීට් ඉදිකිරීමි සම්බන්ධයෙන් පුහුණු වැඩමුළුවක්. කොන්ක්‍රීට් ව්‍යුහයන් හා කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන්, දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්, නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පසුගිය දා පැවැත්විණි. ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ අනුග්‍රහය යට‍තේ පවත්වන ලද මෙම වැඩමුළුව සදහා පළාත් පාලන ආයතනවල වැඩ අධිකාරි, කාර්මික නිළධාරින් පිරිසක් සහභාගී වූහ.මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු පී.ජේ.ඩබ්. කරුණානන්ද මහතා, ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ ඉංජිනේරු උපදේශක පවිත්‍ර ජයතිලක, ඉංජිනේරු සිසිල් පෙරේරා, ඉංජිනේරු චතුරංග ඒකකායක සහ කළමනාකරු, රුවන් බණ්ඩාර යන මහත්වරුන් මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදි.

මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට.

මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට. මැදදුම්බර ප්‍රාදේශීය සභා වෙළද සංකිර්ණය ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 03 දින තෙල්දෙණිය නගරයේදී සිදු කෙරිණ. මහවැලි ව්‍යාපාරය යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී එවකට පැවති තෙල්දෙණිය නගරය ජලයෙන් යටවීම හා ඒ වනවිට එහි පදිංචි වී වෙළදාමේ නිරතව සිටි මුල් ජනපදිකයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වෙළද සංකීර්ණයේ කඩ කාමර සදහා ගිවිසුම් පත්‍ර ලබාදීම සිදුවීම විශේෂත්වයකි. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතුන්මත අතරමග ඉදිකිරීම් අත්හිටුවා පැවති මෙම වෙළද සංකීර්ණයේ පළමු අදියර යටතේ බිම් මහලේ පිහිටි කඩ කාමර 15ක් වෙනුවෙන් වන ගිවිසුම් පත්‍ර ලබාදීම මෙහිදී සිදුවිය. මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කැටකුඹුරේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න , හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්‌ , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජී.එල්.අත්තනායක , මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී හේමකුමාර , මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදෝරු ,වෙළද සංගමයේ සභාපති අසංක දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook