ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන තෙරේසා ඕ’මහෝනි (Theresa O’Mahony) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අතර විශේෂ හමුවක් (22) මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම, අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රගතිය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වයන් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
විශේෂයෙන්ම මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම පළාතේ අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර, විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු විය.
තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ඒ ආශ්රිත ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනිණි.
දෙපාර්ශ්වය අතර පැවති මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර සිහිවටන හුවමාරු කර ගැනීමද සිදු විය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙනිය මහතා සහ ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් දිනවංශ මහතාද එක්ව සිටියහ.
