පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කැපකරු නිවාස ඇගයීම් වැඩසටහන.

පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කැපකරු නිවාස ඇගයීම් වැඩසටහන.

පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කැපකරු නිවාස ඇගයීම් වැඩසටහන. මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන නිවාස හිමිකම සම්පූර්ණ කරලීමට පියවර ගැනීම බුදු දහම අනුව සුවිශාල පුණ්‍ය කර්මයක් බවත්, ඉන් කියැවෙන අන්‍යයන්ට උපකාර කිරීමේ උතුම් ගුණාංගය හේතුවෙන් ලැබෙන මානසික සුවය අතිමහත් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. පසුගිය (05) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කැපකරු නිවාස ඇගයීම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් දැක්වූයේ ඔවුන් ඊට ලබා දුන් ප්‍රමුඛත්වය පිළිබඳ සිය සතුට ද පළ කරමිනි. ‘සවිමත් නිවහනක පැහැබර හෙට දිනක්’ යන තේමා පාඨය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට ආරම්භ කෙරුණේ වර්ෂ 2015 දී ය. පසුගිය වසරේ දී මේ සඳහා කැපකරු ප්‍රදායකයන් හතළිස් දෙනෙකුගේ පමණ දායකත්වය ලැබී තිබිණි. දෙපාර්තමේන්තු තොරතුරු පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියනයකට අධික පිරිවැයක් දරා ඇති බව ය. උක්ත කැපකරු ප්‍රදායකයන් අතර ශ්‍රී අභයරාජ පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය සුළුගුණේ පේමරතන හිමියන් ද, ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙක් ද, ජාත්‍යන්තර සිංහ සමාජ සාමාජිකයන් ද , වෘත්තිකයන් ද ,පෞද්ගලික ව්‍යාපාර හිමිකරුවන් කිහිප දෙනෙක් ද සිටියහ. එසේම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පළාත් රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් ද කැපකරු ප්‍රදායකයන් වශයෙන් සම්බන්ධ වී සිටියහ. මේ පිරිසගේ කැපවීම හා දායකත්වය අවධාරණය කරමින් ඇගයීම් පත්‍ර පිරිනැමීම ආණ්ඩුකාර ගමගේ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් මෙසේ සිය වගකීම හා යුතුකම ඉක්මවා සිදු කරන මේ අනගි කැපවීම අතිශය ගෞරවාන්විත වන බව යි. නිලධාරීන්ගේ කාර්ය සාධනය අගයන අවස්ථාවේ දී මෙවැනි කැපවීම් ද සලකා බැලීම වැදගත් වන වග ද ඔහු කියා සිටියේ පසුගියදා රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යයභාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් ද සිහිපත් කරමිනි. වැඩසටහන නිමා කෙරුණේ ගෙවුණු වර්ෂයේ දී තෝරා ගත් අඩු ආදායම්ලාභීන්ගේ නිවාස යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්‍රියා කළ පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කනිෂ්කා වඩුගොඩ මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ඇගයීම් සහතික පත් පිරිනැමීමෙනි. මෙහිලා විශේෂ ඇගැයීමකට පාත්‍ර වූයේ ඩී.එල්.එස්. උදය කුමාර මහතා යි. පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් මාර්ග හා නිවාස අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි යන මහත්ම මහත්මීහු ද, යටිනුවර ප්‍රාදේශීය ලේකම් ඒ.එම් වික්‍රමාරච්චි මහතා හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ටී.ඩී.කේ. වීරකෝන් මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියහ. පළාත් නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගොඩ මහත්මිය ප්‍රමුඛ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook