පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය පිහිටුවීම දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය පිහිටුවීම දිස්ත්‍රික් ලේකම් ප්‍රධානත්වයෙන් 

 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන නුවරඑළිය දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය පිහිටුවීමේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.11.2  දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 

 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහ නියෝජනය කරමින් කලාකරුවන්, සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සංස්කෘතික බල මණ්ඩලය සදහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමද මෙහිදී සිදු කෙරිණ. 

 

 

මූලික පරිගණක කුසලතා පිළිබඳ පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් රාජ්‍ය  නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම සදහා කණිෂ්ඨ මට්ටමේ නිලධාරීන්  වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ මූලික පරිගණක කුසලතා (Basic Computer Skills) පිළිබඳ පුහුණු  වැඩසටහනක් අද දින (02) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත්වීය. 

මධ්‍යම පළාත් ප්‍රධාන  ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය  ප්‍රධාන  ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධීක්ෂණයෙන් නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් ගොඩනංවමින් කාර්යක්ෂම ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය සේවයේ කණිෂ්ඨ  මට්ටමේ නිලධාරින් සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත්දායකත්වය මාර්ග අමාත්‍යාංශයේ සේවයේ නියුතු එම්.කේ.ජී.අසංක කුලතුංග මහතා විසින් ලබාදෙන ලදී.

මධ්‍යම  පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරිණ.

                                         

  

මුදල් රෙගුලාසි පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

මුදල් රෙගුලාසි පිළිබඳ  පුහුණු වැඩමුළුවක්   

                                         

  මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පත් බිහි කිරීමේ අරමුණින්, මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක්  ''මුදල් රෙගුලාසි 104 (4) පරීක්ෂණ " පිළිබඳ පුහුණු  වැඩසටහන අද (02) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. මේ සදහා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මෙහෙයුම්   මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.  ලිපිගොනුකරණය හා පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව  සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුම්වත් කෙරිණි. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්. එම්.ජී.කේ. ආර්. බණ්ඩාර මහතා  මෙහි සම්පත් දායකත්වය දැරීය. මධ්‍යම පළාත්  පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා  තිළිණි දෙහිගොල්ලේ මහත්මියගේ මගපෙන්වීම පරිදි මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.

ලිපිගොනුකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

ලිපිගොනුකරණය පිළිබඳ  පුහුණු වැඩමුළුවක්    

                  

 මධ්‍යම පළාත් සභා යාන්ත්‍රණය වඩා සවිමත් කරනු වස්  මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක්  ''ලිපිගොනුකරණය " විෂය කොටගෙන  අද (01) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. මේ සදහා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මෙහෙයුම්   මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. සේවකයාගේ වගකීම, ලිපිගොනුකරණය හා පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව  සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුම්වත් කෙරිණි. කටුගස්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරී පී. ඩබ්.එම්. කුමාරිහාමි මහත්මිය මෙහි සම්පත් දායකත්වය දැරීය. වැඩමුළුව පැවැත්වූයේ සාකච්ඡාමය ස්වරූපයෙනි. මධ්‍යම පළාත්  පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මියගේ මගපෙන්වීම පරිදි මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන,බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණ මෙහෙයුම් ආහාර සුරක්ෂිතතා හා පෝෂණය පළාත් මෙහෙයුම් කමිටුව රැස්වේ.

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය වෙනුවෙන් වූ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද දින(02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

 

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ හා නුවරළිය යන දිස්ත්‍රික් නියෝජනය කරමින් දේශපාලන අධිකාරිය සහ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙමින් පැවති මෙම පළාත් කමිටු රැස්වීමේදී ආහාර සුරක්ෂිතතාවය සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීම සඳහා පළාත තුළ මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ සඳහා පවතින ගැටලු සලකා බලමින්  දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම සිදු කෙරිණ.

 

 කෘෂිකාර්මික, සෞඛ්‍යය, අධ්‍යාපන, සමුපකාර, කර්මාන්ත, සත්ව නිෂ්පාදන, පළාත් පාලන, විෂයයන් මෙන්ම පළාත් සභා හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සපයන සේවාවන් ට අදාළව මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී  පැහැදිලි කිරීම සිදු කරන ලද අතර , ඉදිරි පියවරයන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කරන ලදී.

 

ආහාර සුරක්ෂතතාවය සහතික කිරීමේ වැඩසහන වෙනුවෙන්  මධ්‍යම පළාතේ පවතින පාසල් භූමින් වගාවන් සදහා යොදවා ගැනීමට  ද පියවර ගෙන ඇත. මේ සඳහා  පළාතේ පවතින පාසල්  1520න් පාසල් 1019ක් මේ වන යොදවාගෙන ඇති අතර, එහි  භූමි ප්‍රමාණය අක්කර 512 ක් වේ.

 

 “ඔබේ දිවියට අපෙන් සවියක්” ජාතික ආහාර සුරක්ෂිතතා හා පෝෂණ වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත තුළ  දරුවන්ගේ පෝෂණ තත්ත්වය සුරක්ෂිත කිරීම, පෝෂණ අවශ්‍යතා සහිත පවුල්වල තොරතුරු ග්‍රාමනිලධාරී වසම් මට්ටමින් හදුනාගැනීම , කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වා දීම ආදී වූ  ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

 

මෙම අවස්ථාව සඳහා දඹුල්ල, මාතලේ හා මහනුවර නගරාධිපතිවරුන් ඇතුළු  ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මධ්‍යම  පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් , විද්වතුන්, පරික්ෂක අංශ ප්‍රධානීන්, ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook