පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මැදරටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරක්....

මැදරටට නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරක්.... මධ්‍යම පළාතේ නාඋල, මාතලේ, හඟුරන්කෙත, නුවරඑළිය යන කලාප අධ්‍යාපන කාර්යාල හතර සඳහා නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පත් කෙරේ. මෙම නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී (15) දින පස්වරුවේ සිදු කෙරිණි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන පී.ජී.එම්. වනසිංහ මහතා නාඋල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, ටී. නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එම්.පී.එල්. අබේරත්න මහතා හඟුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, එස්.පී. පිහිල්ලේගෙදර මහත්මිය නුවරඑළිය කලාප අධ්‍යාපන ලෙසත් පත්වීම් ලැබුහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා ඇතුළු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නුවරට, නුවරඑළියට නව කොමසාරිස්වරුන්..

නුවරට, නුවරඑළියට නව කොමසාරිස්වරුන්.. මහනුවර සහ නුවරඑළිය මහ නගර සභා පත්කළ නවක කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ, පල්ලේකැලේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී (15) සිදු කෙරිණි. නුවරඑළිය මහ නගර සභාවේ, නාගරික කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු සේවය පලමු පන්තියේ නිලධාරියකු වන කේ.කේ.ජී.අයි.ඩී.පී. විජයතිලක මහතා පත්කර ඇති අතර මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ ඒ.එච්.එම්. ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පත් කෙරේ. කේ.කේ.ජී.අයි.ඩී.පී.විජයතිලක මහතා නුවරඑළිය නාගරික කොමසාරිස් වශයෙන් පත් කිරීමට පෙර මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වශයෙන් ද මාතලේ,අතිරේක දිස්ත්‍රික් ලේකම් වශයෙන්ද කටයුතු කළේය. ඒ.එච්.එම්. ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය, මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ලෙසද අකුරණ ප්‍රාදේශීය ලේකම් වශයෙන්ද කටයුතු කළාය. මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මධ්‍ය පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ඩී.ආර් පියදාස, පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්මින් සහභාගි වූහ.

මහනුවර එක විදිහට එක දිගට.

මහනුවර එක විදිහට එක දිගට. ලෝක උරුම මහනුවර නගරයේ අධි නගර කලාපයේ ගොඩනැගිලි මුහුණත් විධිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‘මහනුවර මහ නගරය එක විදිහට එක දිගට වැඩසටහන’ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ඩී.එස්. සේනානාය මහජන පුස්තකාල පරිශ්‍ර‍යේ පිහිටි, ‘කරළිය’ සම්මන්ත්‍රණ ශාලාවේදි (14) පැවැත්විණි. මහනුවර මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදි. මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස ප්‍රවර්ධන කිරීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී, මහනුවර මහ නගර සැලැස්ම යට‍තේ මහනුවර නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල මුහුණත ලෝක උරුම නගරයට ගැලපෙන පරිදි සකස් කර ගැනිම පිළිබඳව හා ඒ සඳහා වෙළඳ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන ලදි. මෙයට සමගාමීව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන් ද වෙළඳ සංගම් නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් අතර සාකච්ඡාවක් ද පැවැත්විය. මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, ඉෂාන් විජේතිලක, නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඒ.එම්.එන්.සී. අබේරත්න මහත්මිය ඇතුළු නිලධාරීන්, මහනුවර නගරායේ වෙළඳ සංගම් නියෝජිතයින් සහ ව්‍යාරිකයින් පිරිසක් සහභාගී වූහ.

වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික නිකුත් කිරීම ආරම්භ වේ.

වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික නිකුත් කිරීම ආරම්භ වේ. --------------------------------------------------------- වෙසක් සමයේ මහනුවර නගරය හා නාගරික සීමාවේ ක්‍රියාත්මක වන දන්සැල් සඳහා ලියපදිංචි සහතික නිකුත් කිරීම ආරම්භ කොට ඇතැයි මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි. සෑම දන්සැලක්ම මහනුවර මහ නගර සභාවේ ලියපදිංචි විය යුතු බවත් එහිදී සංවිධායක මණ්ඩල සඳහා මඟ පෙන්වීම් හා උපදෙස් ලබා දෙන බවත් වෛද්‍ය නිලධාරීවරයා තව දුරටත් පැවසුවේය. උණ සන්නිපාත රෝගය වැළදීමේ අවදානම ගැන වැඩි අවදානයක් මෙවර යොමු කොට ඇතැයි කී ඒ මහතා තාවකාලික ආහාර පිසීමේ ස්ථාන හේතුවෙන් එම අවදානම තව දුරටත් ඉහළ යා හැකි යැයි ද කීහ. එසේ වුවත් වෙසක් සමයේ නිසි නිර්ණායක මත ක්‍රියාකිරීම හේතුවෙන් සෞඛ්‍ය සුරක්ෂීතතාව තහවුරු කර ගත හැකි යැයි පෙන්වා දුන් ඒ මහතා සියලු දන්සැල් සංවිධායකයන් මහනුවර මහ නගර සභාවෙන් සිය දන්සැල ලියාපදිංචි කර ගත යුතු යැයි ද තව දුරටත් පැවසුවේය. මහනුවර නගරය හා නගර සිමාවේ සියලු දන්සැල් නියාමනය මහනුවර මහ නගර සභාව මගින් කරන බව පෙන්වා දුන් ඒ මහතා දන්සැල් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධ සියලු තොරතුරු සෞඛ්‍ය අංශය මගින් ලබා දෙන බව ද තව දුරටත් කීවේය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ චීන ධුත පිරිසක් අතර සාකච්ඡාවක්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ චීන ධුත පිරිසක් අතර සාකච්ඡාවක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සහ චිනයේ ජියැං පළාතේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් (10) ආණ්ඩුකාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook