පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්කෙරේ.

මධ්‍යම පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, මිරිදිය ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශලේ නව ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චන්දන වික්‍රමසූරිය මහතා පත් කර ඇත. ඒ අනුව නව ලේකම්වරයා සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (28) සිදු විය.එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, කෘෂිකර්ම අමාත්‍යාංශය රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් අනුව ප්‍රමුඛ අවධානයක් හිමිවන ක්ෂේත්‍රයක් වන බවත්, එම නිසා එම අමාත්‍යාංශයේ කටයුතු කිරීමේදී නිසියාකාර සැලස්මක් සකස් කර ගනිමින් විධිමත් ලෙස එම කටයුතු මෙහෙයවීම අවශ්‍ය වන බවය. මධ්‍යම පළාත කෘෂිකාර්මික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් සහිත පළාතක් බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය හා අනුබද්ධිත ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙසත් මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එස්.කුමුදුණී යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

ආර්ථික,සමාජිය සහ දේශපාලනික වශයෙන් වැටී තිබු රට නැවත ප්‍රකෘතිමත් තත්වයට රැගෙන ඒමට වත්මන් ජනපති ඇතුලු රජයට හැකි වූවා.

ආර්ථික,සමාජිය සහ දේශපාලනික වශයෙන් වැටී තිබු රට නැවත ප්‍රකෘතිමත් තත්වයට රැගෙන ඒමට වත්මන් ජනපති ඇතුලු රජයට හැකිවුවා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා ,ආර්ථික,සමාජිය සහ දේශපාලනික වශයෙන් වැටී තිබු රට නැවත ප්‍රකෘතිමත් තත්වයට රැගෙන ඒමට වත්මන් ජනපති ඇතුලු රජයට හැකිවු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර අලදෙණිය නගරයේ 444 වෙනි සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට 30දා පෙරවරුවේ එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ වර්තමාන කාලය තුළ යම් ආර්ථික වශයෙන් පිඩාවට පත් ජනතාව සතොස ශාඛාවන් විවෘත කිරිම සහනයක් බවත් වෙළද මාෆියාවකට යටවි තිබෙන වෙළදපොල තුළ භාණ්ඩ හා සේවාවන් ලබා ගැනිමට ජනතාව යැමේදි දැඩි අපහසුතාවයන්ට පත් වන බවත්, ජාතියක් හැටියට අප කළගුණ නොදන්නා සියල්ල අමතක වන පිරිසක් බවට පවතින තත්වය හමුවේ නිර්මාණය වි ඇති බවත් ඇතැම් කුමන්ත්‍රණකාරි බලවේග විසින් මේ සියල්ල විනාශ කර දමන බවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාවට එන්නත් සිදු කළ බවත් ‍කිහිප වතාවක්ම ජනතාව සහන ලෙස මුදල් සහ භාණ්ඩ ලබා දිම් සිදු කළ බවත් ඒ සියල්ල මේ වන විට අමතක වි ඇති බවත් ය. තවද මෙරට දශක තුනක් තිස්සේ පැවති යුද්ධයද අමතක වි ඇති බවත් එසේ අමතක නොකර ජිවත්වමිට සියලු ජනතාව වගබලා ගත යුතු බවද පැවසිය.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ.සත‍ොස මාතලේ ප්‍රාදේශිය කලමණාකරු සුභාෂ් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක්වි සිටියහ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් ප්‍රථම වතාවට මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කෙරේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් ප්‍රථම වතාවට මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කෙරේ. මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටුවේ විශේෂ රැස්වීමක් 28 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත කරමින්, පහසුකම් සංවර්ධනය කරමින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම හා තීන්දු තීරණ ගැනීම මෙම මෙහෙයුම් කමිටුව මගින් සිදු කෙරේ. ඒ අනුව ප්‍රධාන අභිමතාර්ථ හතරක් යටතේ සංචාරක කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් මධ්‍යම පළාතේ සංචාරක කලාප පහක් ලෙස සංවර්ධනය කිරීමට මෙම වර්ෂයේ දී සැලසුම් සකස් කොට පවතී.මෙම සංචාරක මෙහෙයුම් කමිටු රැස්වීමේදී විවිධ අංශවලින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොමු කරන ලද යෝජනා හා පවතින ගැටලු සඳහා කමිටුවේ අවධානය යොමු කරමින් තීන්දු තීරණ රැසක් ගනු ලැබීය. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මගින් මෙම වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී.ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ආශ්‍රිතව බහුවිධ සංචාරක මධ්‍යස්ථානයක් ඇතිකිරීමට පියවර සැලසුම් කොට ඇත.හන්තාන සිට දෙල්තොට දක්වා ප්‍රදේශය ආශ්‍රිතව Pekoe Trail වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද, වික්ටෝරියා කලාපය ආශ්‍රිතව නව ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ට සැලසුම් කොට පවති. මාතලේ මාතලේ දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් සීගිරිය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කෙරේ. නකල්ස් ආශ්‍රිත කලාපය තුළ පවතින පහසුකම් සංවර්ධනය කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කොට ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් සප්තකන්‍යා කඳුවැටිය ආශ්‍රිතව නව සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් හා ස්මාරකයක් ස්ථාපිත කිරීම මෙන්ම මන්දාරම් නුවර ආශ්‍රිතව හා සඳතැන්න පාරිසරික සුන්දරත්වය කලාපය ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට නව සැලසුම් සකස් කොට පවතී. මෙම මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉනෝදනී තබවිට, රජරට විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහාචාර්ය m.s.m. අස්ලම් , පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහාචාර්ය තිලක් බණ්ඩාර, ආචාර්ය පූර්නිමා සීලගම යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සංචාරක පොලිසිය, සංචාරක මාර්ගෝපදේශ සංගමයේ නියෝජිතයින්, සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය, සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමය, හෝටල් සංගමයේ නියෝජිතයින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ගෙන් සහයක් නොලැබෙන්නේ නම් එය විශාල ගැටලුවක්.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ගෙන් සහයක් නොලැබෙන්නේ නම් එය විශාල ගැටලුවක් . පවතින තත්ත්වයේ වෙනසක් සිදු නොවී භෞතික දේ වර්ධනය කිරීම අභියෝගයට පිළියමක් නොවේ.අධ්‍යාපනයේ අවසන් ඵලය දරුවන්ට ලැබිය යුතුයි. අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් මත මිස අධ්‍යාපන ක්‍රමය වෙනසකට ලක් කිරීම විශාල අර්බුදයක් ඇති කර වන්නක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.ඒ මහතා මෙලෙස පැවසූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමේදී සිදුකරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව පළාත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. මෙම විශේෂ වැඩසටහන පසුගියදා (28) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින.ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පළාත් මට්ටමින් දක්වන ලද එකඟතාවයන් අනුව මධ්‍යම පළාතේ සිදු කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර, පළාතේ පවතින ගුරුවරුන් සංඛ්‍යාව , පාසැල් හා ශිෂ්‍ය ප්‍රජාව පදනම් කර ගනිමින් ජාතික එකඟතාවයන්ට අනුකූලව මෙම පරිපාලන ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට නියමිතය.ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ පරිපාලනය පහසු කිරීම, අධීක්ෂණ ක්‍රමවේද යන් විධිමත් කිරීම, ශිෂ්‍ය පාදක පාසල් ක්‍රමය සදහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට යොමුවීම, පළාත් නමය තුළම ඒකාබද්ධ ප්‍රවේශයකට අධ්‍යාපන ක්‍රමය හැඩ ගැන්වීම යන අරමුණු ඒකරාශි කොට ගනිමින් මූලික වශයෙන් ක්ෂේත්‍ර නමයක් ඔස්සේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවල සිදුකිරීමට නියමිතය.ඒ අනුව පෙර පාසල් අධ්‍යාපනය, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණයන් , විෂය මාලා ප්‍රතිසංස්කරණයන්, සෞඛ්‍ය , ජාතික පාසල් දාහක් බවට පත් කිරීම, වෘත්තීය සංවර්ධනය, පාසල් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපනය සමඟ යා කිරීම, දුරස්ථ ඉගෙනුම් ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශ මේ යටතට ගැනේ.මධ්‍යම පළාතේ මෙම වැඩසටහනට සමගාමීව අධ්‍යාපන පරිපාලන ව්‍යුහාත්මක වෙනස්කම් යටතේ පවතින කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගැනේ. ඒ අනුව නව කලාප අධ්‍යාපන කාර්යාල හතක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කොට ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයට හතරක්, මාතලේට එකක් හා නුවරඑළිය සඳහා දෙකක් වශයෙනි.2024 වර්ෂය තුළ පළාත් නමයම ආවරණය වන පරිදි කලාප කාර්යාලය එක බැගින් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ද ජාතික අධ්‍යාපන සැලසුම් සකස් කොට පවතින බව මෙහිදී අනාවරණය විය.පළාතේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර අවසාන වශයෙන් ආණ්ඩුකාරතුමාගේ එකඟත්වය මත අනුමැතිය ලබාගෙන ජාතික වැඩසටහන සඳහා පළාතේ එකඟතාවය යොමු කිරීමට ද මෙහිදී තීන්දු කරන ලදී.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම් මේනක හේරත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුන්, පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල පහළොවම නියෝජනය කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිසක් සහභාගී විය.

මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අම්පිටියටත් ජලය.

මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අම්පිටියටත් ජලය මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියේ ජල සැපයුම අම්පිටිය කලාපයට සම්බන්ධ කරමින් ධාරිතාවය පුළුල් කළ ජල සැපයුම් ඒකකය විවෘත කිරිම, දුනුමඩලාව ජල පොම්පාගාර පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 27දා සිදු කෙරිණි. මහනුවර මහ නගර සභාව සතු මෙම ජල ඒකකය මගින් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ජල පෝෂකයෙන් ලබා ගන්නා ජලය අම්පිටිය, බහිරවකන්ද, රජපිහිල්ල මාවත ඇතුලු ප්‍රදේශ කිහිපයකට බෙදා හැරීම සිදු කෙරේ.රුපියල් මිලියන 100ක ඇස්තමේන්තු ගත වියදමින් සිදුවූ එම ව්‍යාපෘතිය සඳහා සෘජු ශ්‍රම දායක්තවය යටතේ රුපියල් මිලියන 70ක වියදමින් සිදු කිරිම සුවිශේ කාරණයක් වන අතර නගර සභාවේ ඉංජිනේරුවරුන්ගේ සහ සේවක පිරිස්වල සහයෙන් මෙම කටයුතු සිදු කර ඇත.වර්ෂ 2019 මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී යෝජනාවකින් සම්මත වූ මෙම ව්‍යාපෘතියේ දැනට තිබුණු ඝන මීටර් 500ක දෛනික පොම්ප කිරීම ඝන මීටර් 950 දක්වා ඉහළ නංවා තිබේ.මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, හිටපු පුරපති කේසර සේනානායක, හිටපු විපක්ෂ නායක සේන දිසානායක නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook