පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ කණ්ඩායම් තරග ආරම්භ කෙරේ.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ කණ්ඩායම් තරග ආරම්භ කෙරේ. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරඟ රැසක් මේ වනවිට ආරම්භ කර පවතී. මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම් ශුරතාවයන් සදහා තරඟවදින අතර මේ යටතේ වොලිබෝල් බාලක බාලිකා තරඟ කෙන්ගල්ල ජාතික පාසලේදීත් , බැට්මින්ටන් තරගාවලිය දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණ. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ බැට්මින්ටන් තරග ජයග්‍රාහකයින් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 30 වන දින සිදු කෙරින.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක් (30) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක් (30) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සම්බන්ධ පොදු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී, දැනට රාජ්‍ය ආයතනවල, සේවක සංඛ්‍යාව, ඒ ඒ ආයතනවලට පැවරී ඇති වගකීම්, සේවක රැකියා විස්තර යන සියල්ල නැවත සමාලෝචනයට ලක්කරමින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි නැවත අවධානය යොමු කිරීම සඳහා මධ්‍යම රජයෙන් ලැබී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් ලෙස මෙම වැඩමුළුව ක්‍රියාත්මක වූ අතර පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් වැඩමුළුව සංවිධානය කොට තිබිණ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික, පියතිස්ස රණසිංහ මහතා මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දැක්වූ අතර, ඒ මහතා දිවයිනේ රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අත්දැකීම් බහුල කීර්තිමත් රාජ්‍ය සේවකයෙකි. පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුව සඳහා සියලුම අමාත්‍යාංශය ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, සභා ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන මාණ්ඩලික නිලධාරීන් සහභාගිව සිටියහ.

මහනුවර කිංග්ස්වුඩ් විදුහලට නව විදුහල්පතිවරයෙක්.

මහනුවර කිංග්ස්වුඩ් විදුහලට නව විදුහල්පතිවරයෙක්. මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ අභිනව විදුහල්පති ලෙස පත් වූ එච්.එම්. ධම්මික හේරත් මහතා රාජකාරි කටයුතු ආරම්භ කිරීම පසුගියදා (01) විදුහලේ දී සිදු කෙරින. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකු වන ධම්මික හේරත් මහතා මෙම තනතුර ලැබීමට ප්‍රථම මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කීර්තිමත් පාසලක් වන මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ක්‍රීඩා පාසල වන වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේය.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරට නව අධ්‍යක්ෂවරියක්.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරට නව අධ්‍යක්ෂවරියක්. මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා පත් වූ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන ඒ.රාජිකා ප්‍රියන්ති මහත්මිය සිය තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම 01 දා පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි පළාත් භාණ්ඩාගාරයේ දී සිදු කෙරින. රාජිකා ප්‍රියන්ති මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ ඉපිද, සිය අධ්‍යාපන කටයුතු අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයෙන් හා අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් ලබාගනී. පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුලත්ව රාජ්‍ය පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියත්, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත. 1988 වර්ෂයේදී විගණන පරීක්ෂක නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ඒ මහත්මිය ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ , සෞබ්‍යය ගොඩනැගිලි විගණන උප කාර්යාලයේ හා අම්පාර දිස්ත්‍රික් විගණන කාර්යාලයේ සේවයේ නිරත වී සිට 2002 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගණකාධිකාරී විභාගය සමත්ව ගණකාධිකාරීවරියක ලෙස සිය රාජකාරි කටයුතු මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අරබා අනතුරුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මහනුවර මහා නගර සභාව ,පළාත් සෞබ්‍යය දෙපාර්තමේන්තුව යන ආයතනයන් රැසක සේවයේ නිරතවී ඇති අතර , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස රාජකාරි කටයුතු සිදුකරමින් සිටිය දි 2024 අගෝස්තු මස පළමු වැනි දින සිට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුරේ රාජකාරි කටයුතු මෙලෙස ආරම්භ කරන ලදී.

"උරුමයක පෙරමග "

"උරුමයක පෙරමග " පාරම්පරික හස්ත කර්මාන්ත අංශය වෙත පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහන- 2024 මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබු "උරුමයක පෙරමග " ව්‍යාපෘතියේ පළමු අදියර 2024.07.25 දින පාසල් දරුවන් හා පාසල්වල ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් මාතලේ ' ' 'උණවේරුව ' පාරම්පරික සේසත් ගම්මානයේ පැවැත්විය .මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ,මාතලේ දිස්ත්‍රික්කයේ බණ්ඩාරපොළ මහ විද්‍යාලය ,විජයපාල මහ විද්‍යාලය ,කයිකාවල මධ්‍ය මහ විද්‍යාලය සහ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ ජාතික පාසල් හි ' ශිල්ප කලා ' විෂය හදාරන සිසු දරු දැරියන් 42 ක් ඒ සඳහා සහභාගී විය.එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ඩී.ජී.පී විමලරත්න මහතා විසින් 'සේසත් කලාව' පිළිබඳව වටිනා න්‍යායාත්මක දේශනයක් පවත්වා ඒ පිළිබඳව මූලික අවබෝධයක් සිසු දරු දැරියන්ට ලබා දුන් අතර, ඉන් අනතුරුව උණවේරුව සේසත් ගම්මානයේ ශිල්පීන් තිදෙනකු සහභාගී කර ගනිමින් සේසත් නිර්මාණය කර ගන්නා අකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ද ලබා දෙන ලදි. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන අවසානයේ ඊට සහභාගී වූ සිසු දරු දැරියන් අගයමින් වටිනා සහතික පත්‍රයක් පිරිනමන ලදි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook