පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය පත්කෙරේ

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය පත්කෙරේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරියකු වන නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස පත් කෙරේ.ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් පසුගිය දා (04) දින පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනැමීම සිදු කෙරිණි.මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපාය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලය, දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලය යන සේවා ස්ථානවල තනතුරු රැසක් දරමින් සේවය කළ හෙට්ටිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වසර විස්සක පමණ සේවා පළපුරුද්දක් ඇති නිළධාරිනියක් වේ..

මහනුවර වැව කමිටුව රැස්වේ

මහනුවර වැව කමිටුව රැස්වේ මහනුවර වැව සම්බන්ධ කමිටු රැස්වීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගිය දා (03) දින පැවැත්විණි.මෙම රැස්වීමේදී මහනුවර වැව සම්බන්ධයෙන් වන කමිටු රැස්වීම, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත මාස තුනකට වරක් කැඳවීමේ බලය ලබා දීම සිදු කෙරිණි. එමෙන්ම කමිටුව සඳහා දායකවන ආයතන හඳුනා ගැනීම සහ එම ආයතන ඉදිරියේදි සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම ද සිදු කෙරිණි. එමෙන්ම මහනුවර වැව සම්බන්ධ වත්මන් තත්ත්වය සහ පැවරී ඇති කාර්ය භාරය සම්බන්ධයෙන් ඒ ඒ ආයතන විසින් අදහස් දැක්වීම සිදු විය. ඒ යටතේ වැව ආශ්‍රිතව පවතින වැව් ජලය, පදික වේදිකාව, දියරැළි බැම්ම, ජලතිලක මණ්ඩපය, මහා මාර්ගය, වැව ආශ්‍රිත වෘක්ෂලතා, ජල පෝෂක ප්‍රදේශ, පාංශු සංරක්ෂණය නිවාස,ඉදි කිරීම්, විදුලි ආලෝකකරණය, සංචාරක හෝටල්, ජලජ ජීවින්, පුරා විද්‍යාත්මක හා නාගරික සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක,‌ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලෙකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් චන්ද්‍රසිරි, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ 211 වන ගුණසැමරුම

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ 211 වන ගුණසැමරුම වර්ෂ 1815 මාර්තු මස 02 වන දින උඩරට ගිවිසුම අස්සන් කිරීමට පෙර ඉහළට එසවූ බ්‍රිතාන්‍ය ජාතික ධජය බිම හෙලා ස්වකීය ජාති වාත්සල්‍යය ප්‍රකට කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩසිටි අති ගෞරවහාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ 211 වන ගුණසැමරුම පසුගිය දා (මාර්තු 2) පෙරවරුවේ ඓතිහාසික මහමලුවේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමි පිළිරුව අබියස දී පැවැත්විණ.මෙම වැඩසටහන මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා,බස්නායක නිලමේවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ,ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද මහනුවර වාරියපොළ සුමංගල විද්‍යාලය ඇතුළු පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් පිරිසක් ද ඊට එක්ව සිටියහ. ඡායාරූප - ශ්‍රී දළදා මාලිගාව මාධ්‍ය කාර්යාංශය

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතියෙන් මුදල් පරිත්‍යාගයක්

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතියෙන් මුදල් පරිත්‍යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතිය විසින් මූල්‍යමය පරිත්‍යාගයක්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා වෙත ලබා දීම මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය (27) දින සිදුවිණි.ඒ් අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතිය විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලකට අදාළ චෙක්පතක් එම සමිතියේ නිලධාරීන් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගන්වන ලදී.මෙම අවස්ථාවට මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් පී.ඩබ්ලිව් ශිරෝමණි, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් සම්පත් වික්‍රමසිංහ, මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතියේ වැඩ බලන සභාපති කේ.එම්.ඒ.කේ. කුලසේකර, අධ්‍යක්ෂ නාලක ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු සමිති සාමජිකයින් පිරිසක් එක් වූහ.

මහනුවර දිසා බාල දක්ෂ සංගමයේ මහා සභාව රැස්වේ

මහනුවර දිසා බාල දක්ෂ සංගමයේ මහා සභාව රැස්වේ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ, මහනුවර දිසා ශාඛාවේ 2025/2026 මහා සභා රැස්වීම සහ 106 වන සංවත්සරය සැමරීම කුණ්ඩසාලේ, පල්ලේකැලේ, බාලදක්ෂ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී (28) දින පවැත්විණි.ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතා සහ මධ්‍යම පළාත් බාලදක්ෂ කොමසාරිස් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ක්‍රිෂාන් වාසලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභා රැස්වීම සංවිධානය කර තිබිණි. මෙහිදි පසුගිය මහා සභා වාර්තා, ප්‍රගතිය හා අය වැය වාර්තා ඉදිරිපත් කිරීම, දිසා බාලදක්ෂ කටයුතු පිළිබඳ වාර්තා සහ යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරිණි. එමෙන්ම 2026/2027 වර්ෂ සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම ද සිදු කෙරිණි.මෙම අවස්ථා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ දිසා කොමසාරිස් ලෙස කටයුතු කළ කපිල ප්‍රියන්ත මහතා ඇගයීම ද සිදුවිණි.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පත්මලාල් පෙරේරා, මහනුවර දිසා කොමසාරිස් මංජුල විජේසිංහ යන මහත්වරු අතුළු බාලදක්ෂ නායකයින්, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනි මහත්මිය ඇතුළු මහනුවර දිසා බල දක්ෂ සංගමයේ සාමාජිකයින් පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook