පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාතේ ගුරු සේවයට 145 දෙනෙකු එක්වේ.

මධ්‍යම පළාතේ ගුරු සේවයට 145 දෙනෙකු එක්වේ. රටක විනයවත් බව දියුණුවේ ප්‍රධානම සාධකයක් . ඒ නිසා වෘත්තීය ආදර්ශමත් බව රැක ගැනීම රටේ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. රටේ විනය ගොඩනැගීමේ ප්‍රධාන බලවේගය වන්නේ ගුරුවරුන්. අනාගත දරු පරපුර නිවැරදි දිශානතියකට යොමු කලොත් රටේ යහපත උදාවේවි. තමන්ගේ අයිතිවාසිකම් ගැන හිතනවා වෙනුවට දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම ගැන සිතන සමාජයක් රටට අවශ්‍යයි. “රටෙන් ඔබට යන්න වෙනුවට ඔබෙන් රටට” යන ආදර්ශය සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවයක්. රටක් නිවැරදි දිශානතියකට ගෙනයන්නත් රටක් වට්ටන්නත් අධ්‍යාපන ක්‍රමයට පුළුවන්. ඒ නිසා තමන්ගේ ගුරු භූමිකාවේ යුතුකම පිළිබඳව නැවත නැවත සිතා බැලිය යුතු කාලයක් මේ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ ගුරු සහයකයින් සහ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් මධ්‍යම පළාත් ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. එම උත්සවය අද දින(22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පළාත තුළ දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස දීර්ඝ කාලයක් පාසල් වල ගුරු සහයකින් ලෙස සාර්ථකව රාජකාරි ඉටු කළ සුදුසුකම් සපුරා ඇති 136 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා පනස් හතර දෙනෙකු (54) , නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හැත්තෑ අට දෙනෙකු (78) හා මාතලේ දිස්ත්‍රික්කය සඳහා හතර දෙනෙකු (04) පත්වීම් ලැබූහ. මීට අමතරව ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 09 දෙනෙකු වෙත ද පත්වීම් ලිපි ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය. මධ්‍යම පළාත තුළ ගුරු සහයකින් ලෙස 1782දෙනෙකු බඳවාගෙන ඇති අතර මේ වන විට ඉන් සුදුසුකම් සපුරා ඇති 1509 දෙනෙකු ගුරු සේවයට අන්තර්ග්‍රහණය කොට ඇත්තේ පළාතේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙනි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ,නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුද පාණ්ඩි රාමේශ්වරන්, වතු භාරයේ සභාපති භාරත අරුල්සාමි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

හනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද පස් මහල් ධර්ම ප්‍රාසාදය සගසතු කෙරේ.

මහනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද පස් මහල් ධර්ම ප්‍රාසාදය සගසතු කිරීමේ මහෝත්සවය ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඥානරතන මහා නායක හිමිපානන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පෙරටුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ. මීට සමගාමීව මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ. ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධීන් රැසක් සනිටුහන් කරන මෙම විහාරස්ථානයේ මෙම පස්මහල් ධර්ම ශාලාව ඉදිකිරීම සඳහා වසර පහක් ගත වී ඇති අතර මේ සඳහා වැයකොට ඇති මුදල මිලියන 750 ක් වේ. මෙම ගොඩනැගිල්ලේ භික්ෂු සංඝාවාසයක් ,පුස්තකාලයක්, භාවනා මධ්‍යස්ථානයක් ,විදේශීය භික්ෂූන් සඳහා නේවාසික පහසුකම් සැපයීම ඇතුළු බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ අංග රැසකින් සමන්විත වේ. මෙම අවස්ථාව සඳහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක සොලොස්මස් ස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු අනුනායක ස්වාමීන් වහන්සේලා හා මහා සංඝරත්නය, හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, යන මහත්ම මහත්මීන් , ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

හිමාලය නගින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසට මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්‍යාලයෙන් අත්වැලක්...

හිමාලය නගින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසට මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්‍යාලයෙන් අත්වැලක්... මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ සියවස් සැමරුමට සමගාමීව සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස හිමාලය කන්ද තරණය කිරීම සදහා සූදානම්ව සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස සදහා මුදල් ත්‍යාගයක් හා එම සිසුන්ට සුබ පැතුම් එක් කිරීමේ වැඩසටහනක් මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේදී පසුගිය (20) පැවත්විනි. ඒ සදහා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය ආතීරා එස්. මෙනෙවිය ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් පී.සෝමරාජ් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේශකයින්ගේ සංගමයේ අනුශාසක ආචාර්ය ප්‍රියදර්ශනී ප්‍රේමරත්න මිය සහ හිමාලය කන්ද තරණය සදහා සූදානම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස එක්ව සිටියහ.

මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ බාලිකා ද්විත්ව ශූරතා උඩදුම්බර ද්විතීක පාසල දිනා ගනී.

මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ බාලිකා ද්විත්ව ශූරතා උඩදුම්බර ද්විතීක පාසල දිනා ගනී. මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ බාලිකා ශූරතා ද්විත්වයක් දිනා ගැනීමට මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පිහිටි උඩු දුම්බර ද්විතීක පාසල සමත් වේ.මෙම පාපන්දු තරගාවලියේදී වයස අවුරුදු දොළහෙන් පහළ බාලිකා(12පහළ ) අංශයෙන් හා වයස අවුරුදු දාසයෙන් පහල (16පහළ) බාලිකා අංශයේ ශූරතාවයන් දිනා ගැනීමට මෙම විද්‍යාලීය කණ්ඩායම් සමත් වූයේ නගරයේ ප්‍රමුඛ පාසල් පරාජයට පත් කරමිනි.වයස අවුරුදු12 න් පහළ පාපන්දු කණ්ඩායම අඹතැන්න පුෂ්පදාන විද්‍යාලය ගෝල 2 – 0 ලෙස පරාජය කර සමස්ත ලංකා තරගාවලියට තේරි පත් වූ අතර 16න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම ගම්පොළ ශාන්ත ජෝසප් කණ්ඩායම සමග පැවති අවසන් තරගයේ දී ගෝල 1 – 0 ලෙස ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරගාවලිය සදහා තේරි පත්විය. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරග පසුගියදා ගම්පොළ විගුලවත්ත ක්‍රිඩාංගණයේ දී හා පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රිඩාංගනයේ දී පැවැත්විණ.2016 වසරේ දී ආරම්භ කරන ලද පාසලේ පාපන්දු පුහුණුවීම් කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනු ලබන්නේ පාසලේ ක්‍රීඩාභාර්ය ආචාරිනි සුජීවා නිල්මිණී අලුත්ගේ මහත්මියගේ උපදෙස් හා පුහුණුකරු ලෙස කටයුතු කරන එම්.ධම්මික මහතාගේ නිවැරදි මඟ පෙන්වීම යටතේය. වසර හතක් තුළ විශාල ප්‍රගතියක් අත් කර ගනිමින් මෙම පාසල සෑම වසරකම කුමන හෝ වයස් කාණ්ඩයක් නියෝජනය කරමින් සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියකට සහභාගි වීමට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

ව්‍යාපාර සැලසුම් සකස් කිරීම’ පිළිබඳ දෙදින පුහුණුවක්

ව්‍යාපාර සැලසුම් සකස් කිරීම’ පිළිබඳ දෙදින පුහුණුවක් මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනවල සේවයේ නියුතු මෙහෙයුම් මටටමේ නිලධාරින් සඳහා ‘ව්‍යාපාර සැලසුම් සකස් කිරීම’ පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් පල්ලේකැලේ මධ්‍යම පළාත් කළමානාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දි පසුගියදා පවැත්විණී. මධ්‍යම පළාත් කළමානාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් සංවිධානය කළ මෙම වැඩටහනේ සම්පත්දායක ලෙස ව්‍යාපාර කළමනාකරණ උපදේශක යූ.ජී. සුනිල් ශාන්ත මහතා කටයුතු ක‍ළේය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook