පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණයක.

මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා හදිසි නිරීක්ෂණයක. මහනුවර නාගරික ‍මධ්‍යම වෙළදපොලේ වෙළදුන් දිනපතා මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා‍ට ලැබුණු හදිසි පැමිණිල්ලකට අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ඒ මහතා මහනුවර නගර මධ්‍යයේ පිහිටි වෙළදපොල‍ නිරීක්ෂණ චාරිකාවක නිරත වී අදාල ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමක 29 දින කටයුතු කළේය. ඒ අනුව අදාල වෙළදපොල ආසන්නයේ වෙනත් පුද්ගලයින් වෙළදුන් ලෙස පැමිණ අවිධිමත් ලෙස වෙළදාම් කටයුතු වල නිරත වීම, වෙළදාම් කිරීම සදහා පවතින ඉඩකඩ සම්බන්ධයෙන් පවතින ගැටලු, වෙළදසැල් නඩත්තු කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු, ගොඩනැගිලි සහ පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු ,සනීපාරක්ෂක සේවාවන් වැල් පවතින ගැටළු ආදිය මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු වු අතර, මහනුවර මහ නගර සභාව සමග සාකච්ඡා කර සියලු පාර්ශවයන්ට සාධාරණ විසදුමක් ලබාදීමට තමා අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. මේ සදහා සියලු පාර්ශවයන් ඒකාබද්ධ කර ගනිමින් සියලු දෙනාගේ ගැටළු හදුනාගෙන නගරයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මධ්‍යම වෙළදපොල සංවර්ධනය කිරීමටත් , ගැටළු සදහා සැමට එකග වියහැකි විසදුම් ලබාදීමටත් එතුලින් පොදු මහජනතාවට අවශ්‍ය සැපිරිය හැකි මට්ටමට ගෙන ඒම සදහා කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මහනුවර නාගරික මධ්‍යම වෙළදපොලේ වෙළද සංගමයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ද එක් විය.

අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා නව වැඩසටහනක් .

අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා නව වැඩසටහනක් . අකුරණ පිගාඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා නව වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කෙරේ. දීර්ග කාලීනව පිගා ඔය ආශ්‍රිතව ජීවත්වෙන ජනතාවට හා වෙළද ප්‍රජාවට සිදුවන අපහසුතාවයන් වලක්වා ගැනීම සදහා ස්ථිරසාර විසදුමක් ලබාදීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් ලබාදෙන ලද උපදේශයන්ට අනුව නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. ඒ පිළිබදව සංවිධානය කරන ලද විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී 29 දින පැවැත්විණ. මෙහිදී අකුරණ නගර සංවර්ධන සැලැස්මට අනුව කෙටි කාලින ,මාධ්‍ය කාලින හා දිගු කාලින ක්‍රමවේදයකට අනුව ස්ථිරසාර විසදුමක් ලබාදීම වෙනුවෙන් කරුණු රැසක් සාකචජා කරන ලදී. මේ පිළිබදව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා ආයතන රැසක් මගින් මෙම ගැටළුව නිරාකරණය කිරීම පිළිබදව සිදුකරන ලද පරීක්ෂණ හා අධ්‍යයන යෝජනා වල තොරතුරු ,යෝජිත ජල විද්‍යා අධ්‍යයනය සහ වැසි ජල අපවහන සැලැස්ම ඇතුලත් ගංවතුර අවම කිරීමේ යෝජනාවල කරුණු මෙහිදී ඉදිරිපත් කිරීම හා සාකච්ජාවට බදුන් විය. ඒ අනුව ජල ගැලීම් පාලනය කිරීම සදහා කානු පද්ධතිය වැඩිදියුණු කිරීම , ඔයේ තැන්පත්ව පවතින රොන්මඩ හා වැලි ඉවත් කිරීමට කටයුතු යෙදීම , ජලය බැසයාමේ වේගය වැඩි කිරීමට පියවර ගැනීම , අනවසර ඉදිකිරීම් ඇල මාර්ගයෙන් ඉවත් කිරීම , මෙන්ම නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් නැවත පිගාඔය පීටර ගැලීම වලක්වාලීම වෙනුවෙන් ගතයුතු ඉදිරිපියවරයන් මෙහිදී සාකච්ජා කෙරින. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක් එක්ව සහයෝගී වැඩසටහනක් දියත් කිරීමට ද යෝජනා විය. අකුරණ , පුජාපිටිය ,හාරිස්පත්තුව හා පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් මිට අයත්වන අතර ප්‍රාදේශීය සභා හතරේ ද දායකත්වය හා සහය ලබා ගැනීමට නියමිතය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් , මාර්ග සංවර්ධන අධිකාරිය ,නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය , ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව , ප්‍රාදේශීය ලේකම්වරුන් , පලාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී විය.

මැදරට පාසල් වලට සති සමාජ .

මැදරට පාසල් වලට සති සමාජ . සති පාසැල පදනමේ නිර් මාතෘ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසන ප්‍රධාන කර්මස්ථානාචාර් ය පුජ්‍ය උඩ ඊරියගම ධම්මජිව හිමියන්ගේ මුලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් දිවයින පුරා පාසල් ආශ්‍රිත ව ක්‍රියාත්මක සති සමාජ ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ පාසල් පද්ධතියට හදුන්වා දෙයි. “ මනුෂ්‍යත්වයේ ජන්ම දායාදයක් වන සතිමත් බව උත්ප්‍රේරණය කිරීම ’’ තේමාව කොට ගෙන 4 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන් ඉලක්ක ව ක්‍රියාත්මක මෙම සති සමාජ පිහිටුවීමේ පළාත් ව්‍යාපෘතියේ වැඩසටහන පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. පේරාදෙණිය ම.ම. වී , හිදගල සීවලී මහ විදුහල සහ පුෂ්පදාන කනිෂ්ඨ විදුහල යන පාසල් දරුවන් 500 ක් පමණ සහ විදුහල්පතිවරුන් , ගුරු මණ්ඩල සාමාජිකයන්, ආදී ශිෂ්‍ය හා පාසල් සංවර් ධන සංගම් නියෝජිතයන්, දෙමව්පියන් මෙම වැඩසටහනට සහභාගී විය .

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාප 10ක්.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාප 10ක්. මාතලේ නගරය පදනම් කර ගනිමින් එළඹෙන වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහානායක හිමිවරුන්ගේ අනුශාසනා ලබාගනිමින් මහනුවර වෙසක් කලාපය සතියක් පුරා (21 සිට27 දක්වා ) උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු සැලසුම් කෙරේ. “සුඛෝ බුද්ධානං උප්පාදෝ (බුදුවරුන්ගේ පහළවීම සැපතකි) 2024 සෙංකඩගල වෙසක් උදානයට පිළිවෙතින් පෙළ ගැසෙමු” යන තේමාව මුලික කර ගනිමින් මෙවර මහනුවර වෙසක් කලාපය පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති අතර , ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී 26 දින පැවැත්විය. මහනුවර වෙසක් කලාපය තුළ මෙවර වෙසක් කලාප 10ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී දළදා මාළිගා වෙසක් කලාපය , අස්ගිරිය වෙසක් කලාපය, සහස් උයන වෙසක් කලාපය, බෝගම්බර වෙසක් කලාපය, සුදුහුම්පොල වෙසක් කලාපය , වැව රවුම හා බූවැලිකඩ වෙසක් කලාපය , පොලිස් වෙසක් කලාපය , විද්‍යාර්ථ වෙසක් කලාපය, කටුගස්තොට වෙසක් කලාපය හා ගන්නෝරුව වෙසක් කලාපය වශයෙන් වෙසක් කලාප සකස් කිරීමට යෝජිතය. මෙහිදී ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැනක් ලබාදෙමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. වෙසක් තොරණ ප්‍රදර්ශනය , වෙසක් පහන් කූඩු සංදර්ශන හා වෙසක් සැරසිලි , භක්ති ගීත වැඩසටහන්, දන්සැල් , සීල සමාධි වැඩසටහන් , බෝධිපුජා වැඩසටහන්, පිණ්ඩපාත වැඩසටහන් , සර්ව රාත්‍රික පිරිත් දේශනා , ලේ දන්දීමේ වැඩසටහන්, සමාජ සත්කාර වැඩසටහන් , ආධාර ලබාදීමේ වැඩසටහන් , රුක් රෝපණ වැඩසටහන් ඇතුලු අංග රැසක් ඇතුලත්ව සංවිධානය කරනු ලබන අතර එකම දිනයකදී සියලු කාලාපයන් වල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. ශ්‍රී දළදා මාළිගාව ඇතුළු සිව් මහා දේවාලයන් , මධ්‍යම පළාත් සභාවේ සියලු රාජ්‍ය ආයතන, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ , රාජ්‍ය නොවන ආයතන ඇතුලු ආයතන 143 ක සහයෝගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර පවතී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , මාර්ග අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුලු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් මෙම සාකච්ඡාව සදහා සහභාගී වුහ.

කන්ද උඩරට මැදි විදුහල් අතර පැවති 19 වන “රන් නිල් සටන” ලකුණු 115 කින් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ජය ගනී.

කන්ද උඩරට මැදි විදුහල් අතර පැවති 19 වන “රන් නිල් සටන” ලකුණු 115 කින් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ජය ගනී. 19 වන වරට පැවැති නුගවෙල මධ්‍ය විද්‍යාලය හා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය ලකුණු 115 න් ජය ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. ඒ අනුව සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර අනුස්මරණ කුසලානය හයවන වරටත් හිමිකර ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම සමත් විය. පළමුව තරගයේ කාසිය වාසිය දිනූ වළල ඒ රත්නායක කණ්ඩායම නුගවෙල මධ්‍ය විද්‍යාලය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනය කරන ලදී. ඒ අනුව නුගවෙල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිමේ දී සියළු දෙනා දැවී ලකුණු 87ක් රැස් කර ගැනීමට සමත් විය. එහිදී උදිත් ඉඳුනිල් 44 ලබා ගන්නා ලදී. පන්දු යැවීමේ දී චාමික ප්‍රභාෂ්වර 23/3 දවා ගනිමින් දස්කම් දැක්විය. ඊට පිළිතුරු ලෙස වලල කණ්ඩායමට පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 51ක් පමණක් රැස් කර ගැනීමට හැකි විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුගවෙල කණ්ඩායමේ දහම් නිර්මාල් ලකුණු 12ට කඩුලු 6ක් බිද හෙලීමට සමත් විය. දෙවන ඉනිම ක්‍රීඩාකළ නුගවෙල කණ්ඩායම ලකුණු 157 රැස්කර ගන්නා ලදී. එහිදී ජනිදු ෂෙහාර නොදැවී 75 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී වලල විරාජ් කුලරත්න ලකුණු 51ට කඩුලු 07 දවා ගනිමින් දස්කම් දැක්විය. වලල කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 193 ඉලක්කයක් හබායාම වෙනුවෙන් දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔවුන් හට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78 පමණි. ප්‍රවීන් හේමක 21, පන්දු යැවීමේදී දහම් නිර්මාල් ලකුණු29ට කඩුළු 05ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කළේය. ඒ අනුව නුගවෙල මධ්‍ය විද්‍යාලයට ලකුණු 115 ක ජයක් හිමිවිය. මෙම තරගය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය දා (26,27) පැවැත්වින.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook