පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

සහෘදයාත්‍රා- 2023

සහෘදයාත්‍රා- 2023 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන සහෘද යාත්‍රා -2023 වැඩසටහනේ මහනුවර අධ්‍යාපන කලාපයේ වැඩසටහන පසුගිය දා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් හා අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කිත්සිරි ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පන්ති කාමර අධ්‍යාපනයෙන් පරිබාහිරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය මූලික කරගනිමින් පුද්ගල සංවර්ධනය හා රටේ සංවර්ධනය ඇති කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි. මහනුවර නගරබද පාසල් හා මහනුවර ප්‍රදේශයෙන් දුෂ්කර පාසල් අතර සහෘදත්වය වර්ධනය කිරීම මූලික කරගනිමින් සංවිධානය කළ මෙම වැඩසටහන සිසු දරුවන්ගේ ගායන,නර්තන හා කථික දක්ෂතා වලින් සමන්විත විය. මෙම අවස්ථාවට එක්වූ ලියනගමගේ මහතා දරුවන් අතර ජාති ආගම් භේද දුරලා සාමය, සහජීවනය ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දේශනයක් ද පැවැත්වීය. මෙම සිසුන්ට මහනුවර නගරයේ ආගමික වැදගත්කමක් ඇති සිද්ධස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමට ද අවස්ථාව උදාවේ එසේම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී විනෝදාත්මක හා ඉංග්‍රීසි භාෂා පුහුණුව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනකට ද සහභාගි වීමට අවස්ථාව සැලසේ. මෙම වැඩ සටහනට සහභාගි වූ ප්‍රාථමික ශ්‍රේණි සිසුන් අතර සුහදත්වය ගොඩනැගීමක් වශයෙන් නගරයේ පාසල් වල සිසුන් ත්‍යාග පිරිනැමීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහනේ සත්කාරක දායකත්වය ශාන්ත සිල්වෙස්තර විදුහලත්, අනුග්‍රාහක දායකත්වය මහනුවර ධර්මරාජ විදුහලත් දරනු ලබයි.මෙම අවස්ථාවට මහනුවර අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය, මහනුවර කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් හා ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

හසලක නගරයේ පැරැණි බස් නැවතුම මහජන සේවාවන් සදහා භාවිතයට.

හසලක නගරයේ පැරැණි බස් නැවතුම මහජන සේවාවන් සදහා භාවිතයට. හසලක නගරයේ නව බස් නැවතුම්පල ඉදිකිරීමෙන් පසු පවතින පැරණි බස් නැවතුම්පළ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් මතු‍ වූ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්(08 ) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය තුළ භාවිතයට ගත හැකි රජයේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම වෙනුවට මහජන සේවාවන් සඳහා පමණක් මෙම ගොඩනැගිල්ල යොදා ගැනීමට මෙහිදී යෝජනා ඉදිරිපත් විය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, ප්‍රවාහන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී සීගිරිය සංචාරක කලාපය ආශ්‍රිිතව පවතින ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයට.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 7වන දින පැවැත්විය. දැනට පවතින වියළි කාලගුණය ඉදිරියේ දී පැවතිය හොත් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා අවම කිරීම සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා කමිටුවේ අවධානය යොමු වූ අතර මාතලේ දිස්ත්‍රික්කය තුළ සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා නව සැලැස්මක් සකස්කොට ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවිය. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සීගිරිය සංචාරක කලාපය ආශ්‍රිිතව පවතින ගැටලු සම්බන්ධයෙන් කමටුවේ විශේෂ අවධානය යොමු විය. දැනට පවතින ගැටළු නිරාකරණය කරමින් පවතින අඩු පහසුකම් සකසා විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ කාලින අවශ්‍යතාවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා පෙන්වා දෙන ලද අතර , අදාල ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීම සදහා ඉකුත් දා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ද ආණ්ඩුකාරවරයා නිරත වී ඇත. සේවා පහසුකම් සැපයීම , මාර්ග පද්ධතිය , යටිතල පහසුකම් , වෙළද ව්‍යාපාර සංවර්ධනය , වාහන නතර කිරීමේ පහසුකම් , ආදිය නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් විදිමත් කිරීමට අවශ්‍ය බවත් , රටට විදේශ විනිමය ලබාදෙන සංචාරක කර්මානත්ය සිගිරිය කලාපයේ ප්‍රවර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මෙහිදී අදාළ නිලධාරින් හට දැනුම් දෙන ලදී. මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද යන මහත්ම මහත්මීන්,ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පලාන ආයතන ප්‍රධානින් , ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක් වුහ.

මධ්‍යම පළාතෙන් තරුෂිට හා පුහුණුකරු සුසන්තට උපහාර!

මධ්‍යම පළාතෙන් තරුෂිට හා පුහුණුකරු සුසන්තට උපහාර! අධ්‍යාපන ක්‍රියාවලිය සමබරව සිදුකර ගැනීමට ක්‍රීඩාව මහෝපකාරී වන බවත් එමගින් යහපත් පුරවැසීයෙකු සමාජගත කිරීමේ අධ්‍යාපනයේ අරමුණ වෙත ගමන් කිරීමට පිටුවහලක් ලැබෙන බවත් අතීතයේ ඩන්කන් වයිට් , එස්.එල්.බී.රෝසා ,සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයින් මධ්‍යම පලාතට කිර්තිය ගෙනදුන්නා සේම පාසල් අවදියේදීම ජාත්‍යන්තරය ජය ගනිමින් අනාගත පරපුරට ආදර්ශයක් ලබා දී අනාගත පරපුරට නව දැක්මක් වෙත යොමුකිරීමට සමත් වූ තරුෂි කරුණාරත්න දිරිය දියණිය රටටම ආඩම්බරයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී නව ආසියානු හා නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් දක්ෂතා දැක්වූ මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණියක් වන තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු හට උපහාර පිදීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධියා ලෙස එක වෙමිනි. මෙම උපහාර උළෙල මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යාන පරිශ්‍රයේදී අද දින (04) පැවැත් විය. තායිලන්තයේ පැවැති ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට (මෙම තරගාවලියේදී පදක්කම් ත්‍රිත්වයක් හිමිකර ගෙන ඇත.) හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතාහට (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ - ක්‍රීඩා) මධ්‍යම පළාත් සභාවේ උපහාරය පිදීම හා මුල්‍ය ප්‍රධානයන් සිදු කිරීම මෙහිදී සිදු කෙරින. පසුගිය කාල වකවානුව තුළ ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වෙමින් ජයග්‍රහණ රැසක් මව්බිමට අත්කර දීමට තරුෂි සමත් වී ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා, ජාත්‍යාන්තර කෙළිබිම ජයගත් තරුෂිගේ මුල්ම විදේශිය තරග සංචාරය සදහා වූ මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් සහ කොලොම්බියාවෙදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අත් විදිමට සිදුවූ අමිහිරි අත්දැකීම් හා දුෂ්කරතා අවම කොට තරගයට මුහුණ දීමේ පරිසරය නිර්මාණය කර දීමට ද ඍජුවම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තමන් ක්‍රියාකළ බවත් , මෙලෙස දරුවන් අසරණ කළ නිලධාරින් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින් හට දැනුම්දීමට ද කටයුතු සිදුකල බව සිහිපත් කළේය. නුතන තරගකාරිත්වය හා අභියෝග හමුවේ නොසැලී ලක්මවගේ ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් ක්‍රීඩා ලොව ජය ගැනීම වෙනුවෙන් කිනම් දුෂකරතා මධ්‍යයේ වුව ද මධ්‍යම පළාත් සභාව ක්‍රීඩාව සදහා දක්වන දායකත්වය සහ අනුග්‍රහය එලෙසම ලබා දීමට පියවර ගන්නා බව ද පැවසිය. මෙම උපහාර පිදීමේ උත්සවය මධ්‍යම පළාත් සභාව , පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , වලල ඒ රත්නායක විදුහලේ විදුහල්පති ධම්මික හේරත් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් විය.

වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංඝරාජ පෙරහැර 77 වන වරට මහනුවර නගරයේදී වීදි සංචාරය කෙරේ.

වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංඝරාජ පෙරහැර 77 වන වරට මහනුවර නගරයේදී වීදි සංචාරය කෙරේ. බෝසත් ගුණෝපේත වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් සංවිධාන කළ 77 වන සංඝරාජ පෙරහැර ඇසල පුන් පෝය දිනයේදී (01) මහනුවර නගරයේ වීදි සංචාරය කළේය.ශ්‍රී ලංකාවේ අභාවයට පත් උපසම්පදා භිකෂූ සාසනය යලි ස්ථාපිත කොට කිර්ති ශ්‍රී රාජසිංහ මහා රජුගේ රාජ්‍ය අනුග්‍රහය හා දායකත්වය ලැබ සියම් දේශයෙන් (තායිලන්තයෙන් ) පවර උපාලි මහා ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අටලොසක් මහා සංඝරත්නය ලක්දිවට රාජ ගෞරව සහිතව මහා පෙරහරින් වැඩමකොට ගෙන ඓතිහාසික සෙංකඩගල මහනුවර මල්වතු මහා විහාරයේදී 1753 වර්ෂයේ ඇසල පුන් පෝයදින ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදුකිරීම වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කොට ඇත. වත්මන් සම්බුදු ශාසනයේ ආදි කර්තෘවරයාණන් වන උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ අනුශාසනාවකින් උත්සව සභාවේ කටයුතු ආරම්භ වූ අතර ප්‍රමුඛ මහා සංඝරත්නය, මධ්‍යයේ පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙම පෙරහැර මංගල්‍ය පැවැත්විණ. බෝසත් ගුණෝපේත වැලිවිට ශ්‍රී අසරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සංඝරාජ පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ වු අතර අලි ඇතුන් හා සාම්ප්‍රදායික නර්ථන අංග රැසකින් යුතුව පෙරහැර මහනුවර නගරයේ වීදි රැසක ගමන් කිරීම සිදුවිය. පෙරහැර එතිහාසික මල්වතු මහා විහාරයෙන් ශ්‍රී සංඝරාජ ප්‍රතිමාව රැගත් පෙරහැර ශ්‍රී සංඝරාජ මාවත - දළදා විදිය-යටිනුවර විදිය-ඩි.එස්.සේනානායක විදිය , නැවත දළදා විදියට පිවිස ශ්‍රී සංඝරාජ මාවත - වැලිවිට පටුමග ඔස්සේ මල්වතු මහා විහාරස්ථ තුම්පනේ විහාරය වෙත විත් ගෙවදීම සිදුවිය.ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, එම කාන්තා සමිතිය, ශ්‍රී දළදා මාලිගාව, මහනුවර මහ නගර සභාව, ශ්‍රී සංඝරාජ දහම් පාසල හා මහනුවර නගරයේ පාසල්වල දරු දැරියන්, දායකයන් ඇතුලු විශාල පිරිසකගේ දායකත්වයෙන් මෙම පෙරහැර පැවැත් වූ අතර දළුක්ගොල්ල රජමහ විහාරාධිපති පුජ්‍ය ඇටිපොල බුද්ධරක්ඛිත හිමි, පුජ්‍ය අඹතලාවේ සරණංකර හිමි ඇතුලු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් සහකාර කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook