
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 20දින පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය. අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරන ලදී. ඉන් අනතුරව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර , පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
“ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කරන ලද අතර ඉතිහාසයේ ලබාදුන් වැඩිම මුදල වන රුපියල් මිලියන 10.5ක මුදලක් පෙරහර භාරය විසින් මෙවර ලබාදීම ද විශේෂත්වකි.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විම මෙහිදී සිදු වූ අතර , ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දීම ද සිදු කෙරින.
මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් මෙහිදී සිදු කරණ ලදී.