
කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හිමිකර ගනී.
කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හිමිකර ගනී.
මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 03දින පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. ආරක්‍ෂිත සමාජයක් උදෙසා බුද්ධිමය කතිකාවක් ගොඩනැගීමත්, පාසල් දරුවන්ගේ දැනුම, කුසලතාවය හා ආකල්පයන් ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජ ප්‍රගමයට පදනමක් ගොඩනැගීම අරමුණුව කාලින වූ තේමාවක් පදනම්කරගෙන මෙම පාසල් විවාද තරගාවලිය සංවිධානය කොට පැවති අතර , පළාතේ පාසල් 32ක් නියෝජනය කරමින් මෙම තරගාවලිය අදියර තුනක් යටතේ පවත්වන ලදී.
තරගාවලියේ අවසන් තරගය සදහා මහනුවර උසස් බාලිකා විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම් සුදුසුකම් ලබා පැවති අතර “මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා මත්ද්‍රව්‍ය ප්‍රචාරණයේ හි නුතන ප්‍රවණතා පිළිබදව පාසල් දරුවන්ගේ දැනුම ප්‍රමාණවත් වේ, නොවේ” ලෙසින් යෝජක හා ප්‍රතියෝජක කණ්ඩායම් මෙහිදී තරග කරන ලදී. මෙහිදී කදුරට කුසලාන සමගින් මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය. අනුශුරතාවය උසස් බාලිකා විද්‍යාලය සතු වූ අතර තරගාවලියේ දක්ෂතම කථිකයා ලෙස විද්‍යාර්ථ විද්‍යාලයේ කවිදු ෆොන්සේකා පිදුම් ලැබිය. මෙම වැඩසටහනට සමගාමිව මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව , ඒ සදහා යොදා ගන්නා උපක්‍රම, දරුවන් ඉන් මුදවා ගැනීමට මගපෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් වූ විශේෂ දේශනය අන්තරායක ඔෳෂධ ජාතික පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ, කථිකාචාර්ය ඉසුරු සමරකෝන් මහාතා විසින් සිදුකරන ලදී. මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සී.කේ.ගුණරත්න මහත්මියගේ උපදෙස් මත, මහනුවර විවාදක සංසදයේ දායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සෞබ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,මහනුවර විවාදක සංසදයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.