
කිතුල’ අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ.
කිතුල’ අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ.
අර්බුද ජය ගනිමින් අනාගත අපේක්ෂා දල්වා ගත හැක්කේ රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන වෙනස්ව සිතීමෙන් හා වෙනස් ආකාරයෙන් කටයුතු කිරීමෙන් බවත්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මේ පිළිවෙතට පැමිණ ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි.
පසුගිය (17) පෙරවරුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී ආරම්භ වූ මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ ‘කිතුල’ අලෙවි ප්‍රදර්ශනය විවෘත කරමිනු යි ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ.
මධ්‍යම පළාතේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කාර්යයන්හි නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමත්, නව වෙළෙඳ පොළ අවස්ථා හඳුන්වා දීමත් අරමුණු කරගෙන මේ අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. කිතුල් හකුරු, කිතුල් පැණි, කිතුල් පිටි ආදිය උපයෝගී කොට ගෙන නිෂ්පාදිත ආහාර ද්‍රව්‍යය ද, කිතුල් ලී භාවිත කරමින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ හා මුළුතැන්ගෙයි උපකරණ ද මෙම ප්‍රදර්ශනයේදී පහසු මිල ගණන් යටතේ ලබා ගත හැකි ය. සම්ප්‍රදායික නිෂ්පාදන සේම නව නිෂ්පාදන කෙරෙහිද මෙම ව්‍යවසායකයන් ඉහළ උනන්දුවක් දක්වා ඇති බව පෙනේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ආර්.ඩී. හේරත් මහතා කිතුල් නිෂ්පාදන පිළිබඳ අතීත හා වර්තමාන තතු අන්තර්ගත කෙටි දේශනයක් පැවැත්වී ය.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත හා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි අධිපති තුසිත විජේසේන යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
ප්‍රදර්ශනය අද සහ හෙට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි බිම් මහලේදී පැවැත්වේ.