ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පළාත් නිවාස දෙපාර්තමේන්තුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනයක්.

පළාත් නිවාස දෙපාර්තමේන්තුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනයක්.

පළාත් නිවාස දෙපාර්තමේන්තුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනයක් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනා ගත් ස්වයං රැකියාවන්හි නිරත අඩු ආදායම්ලාභීන්ගේ නිෂ්පාදන අලෙවියට අවකාශ සලසනු ලබන විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනයක් පසුගිය දා මහනුවර යටිනුවර වීදියේ පළාත් ප්‍රවාහන, මහා මාර්ග හා නිවාස අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙය සංවිධානය කළේ දෙපාර්තමේන්තුවේ ‘සංකලන’ කවයේ මූලිකත්වයෙනි. සිය නිෂ්පාදන ප්‍රදර්ශනයට හා අලෙවියට ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභීන් සංඛ්‍යාව 30ක් පමණ වේ. ඔවුන’තුරෙන් බොහෝ දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ය. මෙහිදී ඉහළ ප්‍රමිතියකින් යුතු රෙදිපිළි, විසිතුරු භාණ්ඩ , ගමන් මලු වර්ග, එළවලු පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය , ආභරණ වර්ග ආදිය පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව උදා විය. සාමාන්‍ය පාරිභෝගිකයන් සේම අවට රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල ද ප්‍රදර්ශනය නරඹමින් විවිධ නිෂ්පාදන මිලදී ගනු දක්නට ලැබිණි. මෙම ප්‍රදර්ශනය හා අලෙවිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළාත් නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගොඩ මහත්මිය කියා සිටියේ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ පළාතේ ස්වයං රැකියාවන්හි නිරත අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය සවිමත් කිරීම මෙහි මූලික අරමුණක් බව යි. අතරමැදියන්ගෙන් තොරව ඔවුනට මෙසේ සෘජුව ම පාරිභෝගිකයන් සම්මුඛ කිරීමේ වැදගත්කම ද ඇය පෙන්වා දුන්නා ය. ඇය වැඩි දුරටත් සඳහන් කළේ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය ද මෙහිලා සහය දැක්වූ බව යි. ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, ප්‍රවාහන, මහාමාර්ග හා නිවාස අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය හා පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද , පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook