ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

රේඩා වෙතින් තවත් සමාජ සත්කාරයක්.

රේඩා වෙතින් තවත් සමාජ සත්කාරයක්.

රේඩා වෙතින් තවත් සමාජ සත්කාරයක් ජනතාව මුහුණ පා සිටින ආර්ථික අපහසුතා ජය ගැනීමට හා පවුලේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය (රේඩා) විසින් ගනු ලබන ක්‍රියා මාර්ග අතිශයින්ම වැදගත් බව මධ්‍යම පළාත ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. මැදරට පොළොව සැබැවින්ම සරුසාර බව පෙන්වා දුන් ආණ්ඩුකාර ගමගේ මහතා මැදරට කාලගුණය හා දේශගුණය සමඟ එහි ඵලදායිතාව තහවුරු වන බව ද පෙන්වා දුන්නේ ය. ආණ්ඩුකාර ගමගේ මහතා නාවලපිටිය - පස්බාගේ කෝරළේ දරුවන් හා වැඩිහිටියන් පිරිසක් අමතා මේ අදහස් පළ කළේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණ සහිත ව පාසල් සිසුන් සත්ත්ව නිෂ්පාදනයට හා කෘෂි බෝග වගාවට යොමු කිරීම සඳහා මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය (රේඩා) පසුගියදා (15) පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සංවිධානය කළ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. රේඩා සභාපති නීතීඥ ජානක සකලසූරිය මහතා මෙම වැඩපිළිවෙලේ ස්වභාවය හා අපේක්ෂා පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ ය. මෙහිදී ප්‍රදේශයේ තෝරා ගත් පාසල් සිසුන් පිරිසක් අතර කුකුළු පැටවුන් 500 දෙනෙකු හා පොල් පැළ 250ක් බෙදා දෙනු ලැබී ය. කුකුළු පැටවුන් බෙදා දීමේ අරමුණ වන්නේ පවුලේ පෝෂණ තත්ත්වය නඟා සිටුවනු වස් අවශ්‍ය බිත්තර නිපදවා ගැනීම යි. රේඩා ආයතනය මඟින් පවත්වනු ලැබූ බතික් නිෂ්පාදන පාඨමාලාව සාර්ථකව හදාරා බතික් නිෂ්පාදනයේ නිරත වන ප්‍රදේශයේ කාන්තාවන් වෙත සහතික පත් පිරිනැමීමක් ද මෙහිදී සිදු කෙරිණි. කුකුළු පැටවුන් හා පොල් පැළ බෙදා දීමේ තවත් වැඩසටහනක් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දෙල්තොට පට්ටිගම විදුහල් පරිශ්‍රයේදී ද මෙයට සමගාමී ව සංවිධානය කොට තිබිණි. ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ රේඩා අධ්‍යක්ෂ හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාද, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සමීර රත්නායක මහතා ද , පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභා ලේකම්වරිය ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook