ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළ හා සම්බන්ධ කරවීමේ අරමුණින් සංවිධානය කළ Buyer- Seller Meet -2023 වැඩසටහන  Kcc හි දී

ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළ හා සම්බන්ධ කරවීමේ අරමුණින් සංවිධානය කළ Buyer- Seller Meet -2023 වැඩසටහන Kcc හි දී

මධ්‍යම පළාතේ නිෂ්පාදකයින් සහ සේවා සපයන්නන් ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළ හා සම්බන්ධ කරවීමේ අරමුණින් සංවිධානය කළ Buyer- Seller Meet -2023 වැඩසටහන පසුගියදා (25) මහනුවර සිටි සෙන්ටර් (Kcc)හි දී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාතේ විවිධ අංශයන් නියෝජනය කරමින් අපනයනය සඳහා යොමු වීමට අපේක්ෂිත ව්‍යවසායකයින් සියදෙනෙකු පමණ ද, ශ්‍රී ලංකා අපනයන වාණිජ මණ්ඩලය හා ක්‍රියාත්මක වන විවිධ අංශ නියෝජනය කරමින් අපනයනකරුවන් පහළොස් දෙනෙකු ද සහභාගි වූහ. මීට අමතරව මධ්‍යම පළාතේ මේ වන විටත් විවිධ අංශයන්ගෙන් භාණ්ඩ අපනයනය සිදු කරනු ලබන අපනයනකරුවන් පහළොස් දෙනකු පමණ ද සහභාගි වූහ. මෙහිදී නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් එකම වේදිකාවකදී ජාලගත කරමින් මධ්‍යම පළාතේ සිදු කරනු ලබන නිෂ්පාදනයන් වැඩි වශයෙන් ආනයනය සඳහා යොමු කිරීමට එම නිෂ්පාදන සාම්පල ඉදිරිපත් කෙරිණි. මීට අමතරව ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ඉල්ලුම හා විභවතාව හඳුනාගනිමින් මධ්‍යම පළාතේ පවතින සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන අපනයනය සඳහා ව්‍යවසායකයින් උනන්දු කරලීමට හිතකර යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ආරම්භක පියවරක් වශයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. මධ්‍යම පළාතේ සිදු කරනු ලබන විවිධ නිෂ්පාදන නිපැයුම් අපනයනය සඳහා යොමු කිරීමත්, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්, නිෂ්පාදකයින්, අපනයනකරුවන් හා ජාලගත කිරීමත්, පළාතේ පවත්නා සම්පත් උපයෝගී කරගනිමින් අපනයන වෙළෙඳපොළෙහි පවත්නා විභවතාවන් හඳුනාගනිමින් ඒ සඳහා ව්‍යවසායකයින් යොමුකිරීමත්, නිෂ්පාදන අපනයනය සඳහා යොමු කිරීමේදී බලපාන වෙනත් කරුණු සාකච්ඡා කිරීම, අපනයනය සඳහා අදාළ නිෂ්පාදනයන්හි ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම හා ව්‍යවසායකයින් මුහුණදෙන ගැටලු සාකච්ඡා කිරීම යනාදිය මෙම වැඩසටහනට අන්තර්ගත විය. මෙහිදී අදහස් දැක්වූ ගමගේ මහතා මධ්‍යම පලාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නිෂ්පාදන අපනයනය තුළින් ආර්ථිකයට දක්වන දායකත්වය ඇගයීමට ලක් කළේය.එසේම අපනයන වෙළඳපොළ වැඩි දියුණු කර ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා මෙම ව්‍යවසායකයින් ඒකාබද්ධ කර ගනිමින් ඉලක්කය වෙත ගමන් කළ යුතු බවත, එසේම ගැනුම්කරුවන්ගේ ආකර්ෂණය ඇති කර ගැනීම සඳහා අවධානය යොමු කිරීම ව්‍යාපාරික ප්‍රජාවගේ වගකීම බවත් වැඩිදුරටත් සඳහන් කළේය. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම වැඩසටහනට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා, මධ්‍යම පළාතේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය මහතා, ශ්‍රී ලංකා අපනයන වාණිජ මණ්ඩලයේ නිලධාරීන්, පෞද්ගලික හා රාජ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook