
මහනුවර වැව රවුමේ ඇති ගස් පිළිබඳ කඩිනම් පරීක්ෂාවක් සිදු කොට ඒවායේ අනාරක්ෂිත බවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්න-
මහනුවර වැව රවුමේ ඇති ගස් පිළිබඳ කඩිනම් පරීක්ෂාවක් සිදු කොට ඒවායේ අනාරක්ෂිත බවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර මහා නගර සභා බලධාරීන් වෙත දැනුම් දෙයි. මේ සඳහා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමේ වැදගත්කමද ආණ්ඩුකාර ගමගේ මහතා පෙන්වා දුන්නේය. පසුගියදා කොල්ලුපිටියේ බස් රථ නැවතුමක් අසලදී අනාරක්ෂිත ගසක් කඩා වැටීමෙන් සිදුවූ ආකාරයේ ශෝචනීය සිදුවීමක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා නොවීම පිණිස තමා මේ කාරණය අවධාරණය කරන බවත් ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පල කළේ පසුගියදා (24) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ සම සභාපතිවරයා ලෙස සහභාගී වෙමිනි. කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේද ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර හා නීතීඥ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුද සහභාගී වී සිටියහ.
පසුගිය කමිටු රැස්වීමේදී පැන නැඟුණු කරුණු හා එළැඹි තීරණ වල ප්‍රතිඵල හා වත්මන් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මෙවර කමිටු රැස්වීම ආරම්භ කෙරිණි.
ලංකා ගමන මණ්ඩලයේ බස් රථ සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් රියදුරන් හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීම, ගොහාගොඩ මාර්ග ප්‍රතිසංස්කරණය, ගෙලිඔය නගරයේ විදුලි කණු ඉවත් කිරීම, මහනුවර උතුර / පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ පොම්පාගාර සඳහා විදුලිය ලබා ගැනීම, අංකෙලිපිටිය ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, බෝගම්බර වටරවුමේ සිට හෙද විදුහල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම, මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම විධිමත් කිරීම ආදී කාරණායි මෙසේ පසු විපරම් කෙරුනේ.
මෙවර රැස්වීම වෙත ඉදිරිපත් කළ ලිපි, යෝජනා හා ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණේ අවශ්‍ය විසඳුම් මාර්ග ද හඳුනා ගනිමිනි. මේ අනුව තෙල්දෙනිය බස් රථ නැවතුම්පොළ හා වැලිපොල පිළිබඳ ගැටලුව , නගරාශ්‍රිත පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම, රජයේ ඉඩම්වල ඇති අනතුරුදායක ගස් ඉවත් කිරීම, අරුප්පොල ධර්මාශෝක මාවතේ නව බස් රථ සේවයක් ආරම්භ කිරීම, ගන්නොරුව ප්‍රදේශයේ අනවසර ඉදි කිරීම්, පළාත් පාලන ආයතනවල අරමුදල් පරිපාලනය, කඩුගන්නාව නගර සභා ආදාහනාගාරය නවීකරණය, පොත්තපිටිය නව කර්මාන්තපුරයේ යටිතල පහසුකම් සහතික කිරීම, කොටලිගොඩ ප්‍රජා ජල යෝජනා ක්‍රමයේ කාර්යයන් නිම කිරීම, හන්තාන වතු යායේ හරිත භූමි ඉඩම්ලාභීන්ගේ ගැටලු, උඩදුම්බර පෝප්පිටිය ගම වනජිවී කලාපයෙන් නිදහස් කර ගැනීම, වීථි පහන් නඩත්තුව යන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ විසඳුම් සපයා ගත හැකි ආකාර ද අවධානයට ලක් කරමිනි.
මහනුවර බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහි ප්‍රධානින් විසින් සවිස්තර විග්‍රහයක් ඉදිරිපත් කළ අතර කමිටුව තීරණය කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු හමුවකදී වැඩි දුර කරුණු විමසා බැලීමටය.
මහනුවර් දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පොලිස් ප්‍රධානින් විසින් කරුණු ඉදිරිපත් කළහ.
මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පසුගිය මස තුළදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 372 ක් බවත් මරණ කිසිවක් වාර්තා නොවූ බවත් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විය. සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ මෙම සංඛ්‍යා ලේඛනවලට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මධ්‍යම පළාත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීහුද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුද මහනුවර අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීහුද කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.