ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ.

පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ.

පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ. මධ්‍යම පළාතේ ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කරමින් ඊට අදාළ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා කැඳවා තිබූ මධ්‍යම පළාත් ආරක්ෂක කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ මධ්‍යම පළාත් ප්‍රධානීහු මත්ද්‍රව්‍ය භාවිතය හා මත්ද්‍රව්‍ය අලෙවිය, ඝාතන හා පහරදීම්, ළමා අපචාර හා කාන්තා හිංසන,අධිකරණ ක්‍රියාමාර්ග, අත්අඩංගුවට ගැනීම්, වැටලීම් ආදී කාරණා සම්බන්ධයෙන් තොරතුරු, දත්ත හා නිරීක්ෂණ ඉදිරිපත් කළහ. මෙහිදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් අවධාරණය කළේ තමන් සෑම විටම ශ්‍රී ලංකා පොලිසිය හා බුද්ධි අංශ සමඟ සමීපව කටයුතු කරන බවය. එසේම සියලු රාජ්‍ය ආයතන පළාතේ ආරක්ෂක තත්ත්වය තහවුරු කරලීම පිණිස සම්බන්ධ කර ගැනීමට තමන් කටයුතු කරන බවද ඔවුහු පෙන්වා දුන්හ. මහනුවර නගරයේ රථවාහන තදබදය, උඩවත්තකැලේ රක්ෂිත වනය භාවිත කිරීම, සුරාබදු බලපත්‍ර ලබා දීම හා අනීතික මත්පැන් පානය කෙරෙහිද කමිටුවේ අවධානය යොමු විය. එසේම මධ්‍යම පළාත පුරා පවතින අනවසර ඉදිකිරීම්,ආපදා කළමනාකරණය, වන ගහණය රැක ගැනීම, වසංගත රෝග පාලනය, මගී ප්‍රවාහනය සම්බන්ධයෙන්ද කමිටුව සලකා බලන ලදී. මහනුවර රථවාහන තදබදය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් පාසල් සිසු ප්‍රජාව මුදවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සහභාගී වන කමිටු පිහිටුවිමටත් , ඒවායේ ප්‍රගතිය මීළඟ හමුවේදී ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කෙරිණි. කමිටු රැස්වීම සඳහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියද, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.බෝධිමාන්න මහත්මියද, පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීහුද, පළාත් පාලන ආයතන ප්‍රධානීහුද , රාජ්‍ය ආයතන රැසක මධ්‍යම පළාත් ප්‍රධානීහුද සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook