ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

උඩදුම්බර ආපදාවට ලක් වූ සිසු දරුවන්ට නිල ඇඳුම් හා උපකරණ

උඩදුම්බර ආපදාවට ලක් වූ සිසු දරුවන්ට නිල ඇඳුම් හා උපකරණ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුගල වසමේ ආපදාවට ලක් වූ සිසු දරුවන් පිරිසක් සඳහා නිල ඇඳුම් හා පාසල් උපකරණ ලබා දීම පසුගියදා (20) සිදු කෙරිණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන මහත්මියගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ නිලධාරීන් හා පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.මෙහිදි ආපදා තත්ත්වය මත දුම්බර ප්‍රජා ශාලාව, කළුගල්ඔය කනිෂ්ඨ විද්‍යාලය සහ කළුගල් ඔය විහාරස්ථානයේ නේවාසිකව රඳවා ඇති පවුල්වල සිසු දරුවන් 50ක් සඳහා ඇඳුම් පැළඳුම් හා පාසල් උපකරණ ලබා දීම සිදු කෙරිණි. මෙම අවස්ථාව ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වනිතා සංවර්ධන නිලධාරී රසිකා උපතිස්ස, ආර්ථික සංවර්ධන නිලධාරි සුසීමා ඒනායක යන මහත්මීන් ඇතුළු ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් හා ප්‍රදේශවාසින් පිරිසක් එක් වූහ.

විගණනය පිළිබඳ මහනුවර දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කෙරේ

විගණනය පිළිබඳ මහනුවර දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කෙරේ විගණන දෝෂ අවම කිරීම සඳහා රාජ්‍ය සේවයේ වගකීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්තයේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී (20) දින පැවැත්විණී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම සම්මන්ත්‍රණයේදී විගණන දෝෂ අවම කිරීම සඳහා රාජ්‍ය සේවයේ වගකීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ උපදේශකවරුන් වන හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්න, හිටපු මහාධිකරණ මිනිසුරු හා අල්ලස් කොමිෂන් සභාවේ සභාපති උපදේශක පියසේන රණසිංහ යන මහත්වරු විසින් දැනුවත් කිරීම් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුළු මධ්‍යම පළාත් සභාව හා මධ්‍යම රජය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් එක්වූහ.

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ නව අධ්‍යක්ෂ වැඩ භාරගනී

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ නව අධ්‍යක්ෂ වැඩ භාරගනී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස එච්.එම්.ඩී.එස්. හීන්කෙන්ද මහතා අද (20) පෙරවරුවේ පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ දී සුභ මොහොතින් සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ ය. හීන්කෙන්ද මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරියෙකි. ඒ මහතා උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම්, මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් ලෙසත් සේවය කොට තිබේ. ඒ මහතා මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගැනීමට ප්‍රථම, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ලෙස සේවය කළේය. කෑගල්ල තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හීන්කෙන්ද මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියත්, ජර්මනියේ ගොටින්ගන් විශ්වවිද්‍යාලයෙන් සහ දකුණු කොරියාවේ සෝල් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. හීන්කෙන්ද මහතාගේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) නයනි තෙන්නකෝන් මෙනවිය ඇතුළු මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියහ.

‘දිට්වා’ ස්වාභාවික ව්‍යසනයෙන් පෙරට යාමට වැඩසටහනක්

‘දිට්වා’ ස්වාභාවික ව්‍යසනයෙන් පෙරට යාමට වැඩසටහනක් ‘දිට්වා’ ස්භාවික ව්‍යසනයෙන් පසු ඉදිරියට යාම සඳහා, ඔරොත්තු දීමේ හැකියාවේ සිට පශ්චාත් කම්පන සහගත වර්ධනය දක්වා, ද්විවාර්ෂික වර්ධනයෙන් යුක්තව අධ්‍යාපන අංශයේ මනෝ සමාජීය ප්‍රතිචාර ශක්තිමත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී (16) දින පැවැත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාත් පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (IRD) සංවිධානයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්, කලාප නිලධාරීන්, ගුරු භවතුන් සහ සිසු දරුවන් උදෙසා ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව අධ්‍යාපන බලධාරීන්, කලාප නිලධාරීන්, ගුරු භවතුන් ඇතුළු පුහුණුකරුවන් පුහුණු කිරීමේ සැසියක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ඉදිරියේදී මෙම වැඩසටහන මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගුරු භවතුන් හා සිසු දරුවන් උදෙසා පැවැත්වීමට නියමිතව ඇත.මෙහිදි පසුගිය දා ඇති වූ ගංවතුර ගැලීම සහ නායයෑම් ආදී ස්වභාවික විපත් සඳහා මුහුණ දීමෙන් පසු ඒවාට ඔරොත්තු දීමේ අවශ්‍යතාවයේ වැදගත්කම පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම, සෞඛ්‍ය එහා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාතික විද්‍යා පදනම සභාපති, සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලදී. එමෙන්ම පශ්චාත් ආපදා මානසික යහපැවැත්ම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳ කිරීම සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් ද පශ්චාත් ව්‍යයසන සම්බන්ධයෙන් මනෝ සමාජීය සහාය සඳහා කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳව භූමිකා නිරුපණයන් සම්බන්ධව හඳුන්වා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා විසින් සිදු කරන ලදී .මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා මහජන සෞඛ්‍ය ප්‍රවේශය මත පදනම්ව උපයා මාර්ගිකව සංකල්පීය ප්‍රවේශය පිළිබඳව දැනුවත් කිරීම සහ සිසුන් මූලික කරගත් අන්තර් ක්‍රියාකාරී වැඩසටහනක් ද මීට සමගාමීව පැ‍වැත්විණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධූපානී පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, සෞඛ්‍ය එහා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපති ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සත්කාර ඒකකයේ වෛද්‍ය රංගිකා මනම්පේරි, යන මහත්ම මහත්මීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ගුරු භවතුන් සහ සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.

සීගිරිය සංචාරක කලාපයේ “දඹුල්ල බස්ටුරන්ට්” ඇරඹේ

සීගිරිය සංචාරක කලාපයේ “දඹුල්ල බස්ටුරන්ට්” ඇරඹේ දඹුල්ල හා සීගිරිය සංචාරක කලාපයට පිවිසෙන සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණුන් "Dambulla Bustaurant" නමින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල, පැල්වෙහෙරේදී (15) දින සිදුකෙරිණි.මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ දඹූල්ල මහ නගර සභාව, ප්‍රදේශිය සභාව සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සහාය මත පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ මූල්‍ය දායකත්වය යටතේ මෙම "Dambulla Bustaurant" ක්‍රියාත්මක කෙරේ.මෙහිදී සංචාරකයින්ට ආපනශාලා පහසුකම් භුක්ති විදිමින් දඹුල්ල,සීගිරිය කලාපය තුළ සංචාරය කිරීමට අවකාශය සලසා දී තිබූ අතර මෙම බස් රථය පැල්වෙහෙරින් ගමන් ආරම්භ කර දිගම්පතහ, පිදුරංගල, කිඹිස්ස, සීගිරිය, ඉනාමළුව හරහා නැවත පැල්වෙහෙර දක්වා පැමිණීම සිදුවිණි.ලොව බොහෝ රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙම සංකල්පය භාවිත කරන අතර ශ්‍රී ලංකාවේ දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයට ප්‍රවේශවන සංචාරකයින්ට අලුත් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් දිවයිනේ ප්‍රථමවරට මෙම “දඹුල්ල බස්ටුරන්ට්” වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.මෙම වැඩසටහනට සමගාමීව සීගිරිය සංචාරක කලාපයේ වන අලි තර්ජනය පවතින ප්‍රදේශවල රාත්‍රී ආලෝකමත් කිරීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි පහන් පද්ධතියක් විවෘත කිරීම ද සිදු කෙරිණි. මෙම සූර්යබල විදුලි පහන් සීගිරිය වනජීවි කාර්යාලයේ සිට සීගිරිය වැව දක්වා මාර්ගයේ ස්ථාපිත කර තිබෙන අතර ඒ් සඳහා රුපියල් මිලියන තුනක මුදලක් වැය කර තිබේ.මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න,මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක අධ්‍යක්ෂ සදමාලි හේවගේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.එම්. උපේක්ෂා කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් සංචාරකයින්, සකුරා විලේජ් රෙස්ටුරන්ට් ආයතනයේ හිමිකරු ඇතුළු පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook