ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්.

අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන අංක 2023/17 දරන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාව තුළ ක්‍රියාත්මක කරන ආකාරයත්, ප්‍රාථමික අංශය වඩා ඉඩ කඩ සහිත නව ස්ථානයක ස්ථාපිත කිරීම නිසා මහනුවර හේමමාලි බාලිකා විදුහලේ පළමු ශ්‍රේණියට බාලිකාවන් ඇතුළත් කර ගැනීමේ සීමාව වැඩි කිරීමේ හැකියාවත්, වර්තමානයේ මධ්‍යම පළාත් සභා බල ප්‍රදේශය තුළ පවතින පන්දහසකට අධික ගුරු හිඟය පියවා ගැනීම සඳහා වූ විභාග පැවැත්වීම අත්හිටුවීම විෂයෙහි විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් පිළිබඳ කරුණු විමසා බැලීමේ සාකච්ඡාවක් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ මහතා සමඟ පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න යන මහත්ම මහත්මීහු ද, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ. උක්ත චක්‍රලේඛයේ දැක්වෙන ඇතැම් නියමයන් හා කොන්දේසි මධ්‍යම පළාත් සභා අධ්‍යාපන ක්ෂේත්‍රයට උචිත පරිදි සංශෝධනය කොට එය පිළිගැනීමටත්, හේමමාලි බාලිකා විදුහලට අදාළ ගැටලුවට ඒ ඔස්සේ විසඳුම සපයා දීමටත්, එය පළාත් ආණ්ඩුකාර අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමටත්, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව හා ඌව ඇතුළු වෙනත් පළාත් සභා විසින් ගුරු පුරප්පාඩු පියවීමට කටයුතු කරන අන්දම යටතේ මධ්‍යම පළාතේ ගුරු හිඟයට පිළියම් යෙදීමටත් සාකච්ඡාවේ දී තීරණය කෙරිණි. ආණ්ඩුකාර ගමගේ මහතා සාකච්ඡාව අවසන පළාත් අධ්‍යාපන බලධාරීන් හමුවේ කියා සිටියේ චක්‍රලේඛය තවදුරටත් අධ්‍යයනය කොට උචිත සංශෝධන දැක්වෙන වාර්තාවක් සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ය.

'ප්‍රණාම 2022' ඇගයීමේ උළෙල.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ 'ප්‍රණාම 2022' ඇගයීමේ උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) කළමනාකරණ සංවර්ධන ඒකකයේ දී පැවැත්විණ. සැසිවාර දෙකකින් පැවැත්වූ මෙම වැඩසටහනේ පළමු සැසිවාරයේදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක, පරිපාලන සේවය විශ්‍රාමික සුජාන් නානායක්කාර මහතා ස්වයං කළමනාකරණය (self management) හා නායකත්වය පිළිබඳ දේශනයක්ද පැවැත්වීය.රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය නිලධාරීන් වෙත විවිධ විශේෂය ක්ෂේත්‍ර යටතේ ස්වේච්ඡා පුහුණු වැඩමුළු පැවැත්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්පත්දායකයින් අගයමින් ඔවුන්ට ප්‍රශංසා සහතික පත් පිරිනැමීය.මෙහිදී රුපියල් මිලියන හතරක් වටිනා වැඩසටහන් සියයක් සම්පත් දායකයින්ගේ ස්ව කැමැත්ත මත මෙහෙයවූ අතර මෙහිදී ස්වෙච්ඡා සම්පත්දායකයින් 60 දෙනෙකු වෙනුවෙන් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා අතින් ප්‍රශංසා සහතිකපත් පිරිනැමිණ. මෙහිදී රාජරත්න මහතා රටක ආර්ථික අර්බුදයක් පවතින දුෂ්කර අවස්ථාවක රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබාදෙමින් නිලධාරීන් පුහුණු කිරීම කළ සම්පත්දායකයින්ගේ මෙහෙය අගය කළේය. එසේම දෙවන සැසිවාරයේදී ජෝන් කීල්ස් ආයතනයේ ප්‍රධාන කළමනාකරු අශෝක චන්ද්‍රසේකර මහතා ඇතුළු සම්පත්දායක නිලධාරීන් විසින් සුහුරු තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික කාරණාවන් ඇතුළත් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා, සභා ලේකම්තුමිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා හා ස්වෙච්ඡා සම්පත් දායකයින් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ පර්යේෂණ එළිදැක්වීම හා පර්යේෂණ සමුළුව.

නවීන ලෝකයට ගැලපෙනලෙස අපේ අධ්‍යාපන ක්‍රමවේදයන් වෙසන්විය යුතුයි. මෙතෙක් ඒ වෙනස සිදු නොවීමෙන් අද එය විශාල ගැටළුවක් බවට පත්වෙලා. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයත් , කාලින වූ වෙනස්කම් සමග අනාගත පරපුර නව ලොවට ගැලපෙන ලෙස සමාජගත කිරිමේ ප්‍රධාන අරමුණ අධ්‍යාපනයෙන් ඉටුවිය යුතුයි. එය කාලින වූ අවශ්‍යතාවක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කර පැවති පර්යේෂණ එළිදැක්වීම හා පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි. මෙම පර්යේෂණ එළිදැක්වීම ඉකුත්දා (10) ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මෙම පර්යේෂණ එළිදැක්වීමේදී ගුරුවරුන් හා පාසල් සිසුන් විසින් සිදු කරන ලද පර්යේෂණ හතලිස් හතක් ඇතුලත් වූ කාර්යය මුල පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම සිදු වූ අතර පර්යේෂණ ග්‍රන්ථය ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීම මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සී.අයි.අන්දරගේ මහත්මිය විසින් සිදු කරන ලදී. ගුණාත්මක අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ විශේෂ දේශනය ආචාර්ය උපාලි සේදර මහතා විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විදුහල්පතිවරුන් හා පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ගණිතය හා විද්‍යාව වැනි විෂයයන් ආවරණය කරමින් දැනුම ලබාදීමේ නේවාසික කදවුරක්.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ගණිතය හා විද්‍යාව වැනි විෂයයන් ආවරණය කරමින් දැනුම ලබාදීමේ නේවාසික කදවුරක් පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙහිදී දුෂ්කර කලාප වලින් තෝරාගත් සිසුන් සදහා නේවාසිකව දැනුමත් එමගින් අධ්‍යාපනයේ ප්‍රතිපල ඉහළ ම්ට්ටමකට ගෙන ඒමටත් අපේක්ෂිතය. ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන නිරීක්ෂණය සදහා ඉකුත්දා (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා එක්විය.

මැද පළාතේ දරුවන්ගේ සිප්නැණ එළිකිරීමට භික්ෂුන් වහන්සේලා තිස්හය නමක් ගුරු සේවයට.

මැද පළාතේ දරුවන්ගේ සිප්නැණ එළිකිරීමට භික්ෂුන් වහන්සේලා තිස්හය නමක් ගුරු සේවයට. 2022 වර්ෂයේ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී තනතුර සදහා බදවාගත් භික්ෂූන් වහන්සේලා 36 නමක් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අදාළ පත්වීම් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, ජ්‍යෙෂ්ඨ සහකර ලේකම් , මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ .

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook