ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි”ජයග්‍රාහකයින් ඇගයේ.

“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි”ජයග්‍රාහකයින් ඇගයේ. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන“ඇසළ පෙරහැරයි-සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්මේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගම‍‍ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී (14) පැවැත්විණි. මෙහිදි වයස අවුරුදු 6-8, 9-11, 12-15, 16-18, සහ විවෘත යන වයස් ඛාණ්ඩ යට‍තේ තෝරාගත් තරග ජයග්‍රාහකයින් වෙනුවෙන් පළමු, දෙවන, තෙවන ස්ථාන සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරී නැමිම ආරාධිතයින් අතින් සිදු කෙරිණි. මෙම සිතුවම් තරගය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය, විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යංශය විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ලංකා බැංකුව සහ සී/ස ඇට්ලස් සමාගම විසින් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්‍නකෝන් යන මහත්වරුන් ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.

“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි” The Kandy Infocus සිතුවම් දැක්ම 2024

“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි” The Kandy Infocus සිතුවම් දැක්ම 2024 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන“ඇසළ පෙරහැරයි-සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්ම මෙවරත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේදී අගෝස්තු මස 10 දින සිට 14 දින දක්වා, උදැසන 09.00 සිට සවස 4.00 දක්වා දෙස් විදෙස් නරඹන්නන් සඳහා ප්‍රදර්ශණය කෙරේ. විශාල සිතුවම් ප්‍රමාණයක් අතරින්, තෝරාගත් සිතුවම් 300කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර සිත්තරුන් විසින් සජීවී ලෙස සිතුවම් ඇඳීම් නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගත් අංගයක් විය. එහි සමාරම්භක උළෙල 10 දින ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ෙගෟරව ශාස්ත්‍රවේදී අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලාභිධාන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිපුජ්‍ය වේඬරුවේ ශ්‍රී රතනපාල උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමන් ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී විය. එම උත්සව අවස්ථාවෙහි ආරාධිත දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කළා අධ්‍යන අංශයේ කථිකාචාර්ය තමාලි රත්නායක මහත්මිය විසින් සිදුකල අතර, එම ප්‍රදර්ශනය ඕනෑම තැනක සිට නැරඹිය හැකි පරිදි පහසුකම් සලසා ඇති virtual exhibition center එළිදැක්වීමද මෙහිදී සිදුවිය.

දියතිලක මණ්ඩපයේ ශාක පද්ධතියට නව රුක් රෝපණය කෙරේ.

දියතිලක මණ්ඩපයේ ශාක පද්ධතියට නව රුක් රෝපණය කෙරේ. 1807 වසරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකළ “කිරිමුහුද” යන අන්වර්ත නාමයෙන් හැදින්වෙන මහනුවර වැවෙහි ඉදිකර ඇති අලංකාර දුපත “දියතිලක” මණ්ඩපය ලෙස හදුන්වයි. මෙහි සුන්දරත්වය වැඩිදියුණු කිරීම සඳහා දියතිලක මණ්ඩපයේ ශාක පද්ධතිය සදහා නවතම රුක් රෝපණ වැඩසටහනක් 08 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මල්වතු මහා විහාර අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි මහා විහාරකාරක සංඝ සභික පුජ්‍ය ඇටිපොල මහින්ද හිමි යන නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රුක් රෝපණ කටයුතු සිදු වූ අතර මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන් රත්වත්ත හා මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

හොද නායකයෙකු කිසි දින සමාජය විනාශ කිරීමට දායක නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.

හොද නායකයෙකු කිසි දින සමාජය විනාශ කිරීමට දායක නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි. පාසල තුලින් ඉතා විනයානුකුල ශික්ෂණයකින් නායකත්වය සදහා වන අත්පොත් තබන දරුවා දිනෙක ඉතා සුවිශේෂී පුද්ගලයෙක් වන බවත් , විනය මුලිකව ලෝකයේ සංවර් ධනය කරා ලගාවූ රටවල පුර් වාදර්ශ්යන් පිලිබදව හොදින් අවබෝධ කොට ගත යුතු බවත්, කෙනෙකු සතුවූ හැකියාවන් සහ කුසලතාවයන් සමාජය යහපත් පැවැත්ම උදෙසාම භාවිතයට ගත යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පෙන්වා දෙයි. හොද නායකයෙක් සමාජ විරෝධී කිසිදු ක්‍රියාවකට දායක නොවන බවත්, එහි මුලකුරු කියනුයේ පාසල තුලින් බවත් පැවසු ගමගේ ආණ්ඩුකාරවරයා, අධ්‍යාපනය තුලින් ලබා ගන්නා වූ විනය අතිශයින් මුලික වන බවත් අත්දැකීම ,අත්විදිම, පුහුණුව සැබෑ නායකයෙකු සදහා වන මුලික ප්‍රවේශයන් බවත්, සැබෑ අධ්‍යාපනය යනු විභාග ඉලක්ක ජයගනිමින්, තම දක්ෂතා ලෝකයට පෙන්වමින්, හොඳ ගුණගරුක සාරධර්මවලින් පිරිපුන් දරුවෙක් ලෙස සමාජගත වීම බව අවධාරණය කලේ හඟුරන් කෙත අධ්‍යාපන කලාපයේ විද්‍යාකර විදු දරුවන්ගේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසු දරුවන් 1450ක් පමණ ඉගෙනුම ලබයි. සිසු නියමු අභිෂේස් නමින් 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 64 දෙනෙක් සඳහා පදක්කම් පැළඳවීම සිදුවිණි. අමතරව විශ්වවිද්‍යාලයේ වරම් ලැබූ දරුවන් ඇගැයීම සහ වසරේ සුවිශේෂී කුසලතා දැක්වූ දරුවන් හට සහතික ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි. 1827 වසරේ දරුවන් 12 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් තිදෙනෙකුගෙන් ආරම්භවූ පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලය පසුව 2005 වසරේ දී උසස් පෙළ විෂය ධාරා ආරම්භ කරමින් විද්‍යාකර මහා විද්‍යාලය නමින් නම් කෙරෙණි. විදුහල්පතිනී දමයන්ති මැණිකේ මහත්මිය ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරාධනාවෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය විද්‍යාලිය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා ප්‍රවේශ මාර්ගයක්.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා ප්‍රවේශ මාර්ගයක්. රුපියල් ලක්ෂ 45 වියදමක් දරා ඉදිකරන ලද හගුරන්කෙත දියති ලක විද්‍යාලිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගේ පන්ති කාමර සදහා වන, ප්‍රවේශ මාර්ගය සිසු අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් සිදු කෙරෙනි.මෙම විදුහලේ 08 වසරේ ඉගෙනුම ලබන සචිනි සංදිපා දියණිය මුහුණ දෙන දුෂ්කරතා හඳුනාගෙන මෙම දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය ට යොමු කිරීමෙන් අනතුරු ව වහා ඒ පිලිබදව සොයා බලන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලබාදුන් උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ප්‍රතිපාදන වෙන් කර දෙනු ලැබිය.දරුවන් 1800 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන මෙම විදුහලේ දරුවන් අතර සචිනි දියණිය ,අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සදහා සක්‍රිය ව දායක වන අතර චෙස් ක්‍රීඩාවෙන් ජයග්‍රහණයන් රාශියක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්පත් කර දීමට සමත් වූ දක්ෂ දරුවෙකි. මෙම අවස්ථාව ඇමතු පළාත් ආණ්ඩුකාරවරයා , සමාජයේ සැම දරුවෙකුටම කිසිදු අපහසුවකින් තොරව තම අධ්‍යයන කටයුතු ඇතුළු සියලු කාර් යයන් ඉටු කර ගැනීම සදහා අවශ්‍ය ප්‍රවේශයන් සකසා දීම වැඩිහිටියන් ගේ සහ වගකිවයුතු අයගේ වගකීමත් බවත් , එදා බුදුන් වහන්සේ ලොවට පතල කල කෘතගුණ සැලකීම යන උත්තම පරමාදර් ශය නුතනයේ දීත් ලාංකේය බොදුණු සමාජය තුල මහින්දාගමනයේ සිටම පැල පදියම් විම හා ඒ උතුම් ගුණාංග පවත්වා ගෙන ඒම අගය කල යුතු බවත් අවධාරණය කළේය .විදුහල්පති නිශාන්ත දිසානායක මහතා ඇතුළු ගුරු‍භවතුන් ආරාධනයෙන් පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් , හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන් සහ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නාමල් දිසානායක මහතා ප්‍රමුඛ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යාපන නිලධාරින් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook