ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

කන්ද උඩරට සංඝරාජ පෙරහැර මෙවරත් .

කන්ද උඩරට සංඝරාජ පෙරහැර මෙවරත්. උපසම්පදා විනය කර්මය නැවත පිහිටුවා, ලංකා භික්‍ෂු ශාසනයේ චිරස්තිථිය තහවුරු කරමින් ශ්‍රී ලංකේය බොදුණුවන්ගේ නැණ පහන් දැල්වීමට තම දිවියම කැප කළ, වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජයාණන් වහන්සේගේ මහා ශාසනික සේවාව අනුස්මරණය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සංඝරාජ පෙරහැර 78 වෙනි වරටත් ජුලි 20 දිනට යෙදෙන ඇසල පුරපසලොස්වක පොහොය දින පැවැත්වීමට සැලසුම් කෙරේ. ඊට සමගාමිව සිදුකෙරෙන ප්‍රාතිදානමය පුණ්‍ය කර්මය,ඇතුළු පින්කම් මාලාව මල්වතු මහ විහාර පාර්ශවයේ අතිපුජනිය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමින් වහන්සේගේ අනුශාකත්වයෙන් මල්වතු විහාර වාසී, කර්මාචාර්ය ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය, අඹතලාවේ සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මුලිකත්වයෙන්, ශ්‍රී සංඝරාජ ගුණානුස්මරන සමිතියේ මෙහෙයවීමෙන්, මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ පුර්ණ අනුග්‍රහයෙන්, ඇසල මස 20 වන පොහෝ දින සිදු කිරීමට කටයුතු සංවිධානය කෙරේ. එම කටයුත්තෙහි ප්‍රධානතම අංගය වන, මහනුවර නගරය කේන්ද්‍රියව වාර්ෂිකව පැවැත්වෙන, ශ්‍රී සංඝරාජ ප්‍රතිමාව රැගත් දර්ශනීය පෙරහැරයි , මහනුවර ඵෙතිහාසික මල්වතු මහ විහාරයෙන් ගමන් අරඹා මහනුවර නගරයේ වීදී සංචාරය කෙරේ. එම කටයුත්ත සදහා මධ්‍යම පළාත් සභාව , ශ්‍රී දළදා මාලිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ මහනුවර පොලිස් ස්ථානය , මහනුවර මහා නගර සභාව , මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා වෙළද හා සමාජ සංවිධාන කටයුතු සදහා දායක වේ. සංවිධාන කටයුතු පිලිබඳ සාකච්ඡාවක් 11 දින, අඹතලාව ශ්‍රී සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මුලිකත්වයෙන් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු ආයතන ප්‍රධානින ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි . කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවති එම සාකච්ඡාවට , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහනුවර නාගරික කොමසාරිස්, මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුයුක්ත සංකෘතික නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී සරණංකර ගුණානුස්මරණ සමිතියේ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වීය.

8 වන ජාතික ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් ශුරතා මධ්‍යම හා බස්නාහිරට.

8 වන ජාතික ක්‍රීඩා උළෙලේ හෑන්ඩ් බෝල් ශුරතා මධ්‍යම හා බස්නාහිරට. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 48 වන ජාතික මහා ක්‍රිඩා තරඟාවලියට සමගාමීව පවත්වන ලද හෑන්ඩ් බෝල් ජාතික තරඟාවලිය පසුගියදා බණ්ඩාරගම ගෘහස්ත ක්‍රිඩාගාරයේදී පැවැත්විණි. මෙම තරඟාවලියේ පිරිමි ශූරතාවය මධ්‍යම පළාත හිමිකර ගනු ලැබුවේ ලකුණු 35/32 ලෙස ලබා ගනිමින් වයඹ පළාත අනුශුරයන් බවට පත් කරමිනි. තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩිකයාට හිමි සම්මානය මධ්‍යම පළාත නියෝජනය කරන ලද ආර්.එම්.එස්.එස්.බණ්ඩාරනායක පිදුම් ලැබිය. කාන්තා අවසන් තරගයේදී බස්නාහිර පළාත ශූරතාවය දිනාගනු ලැබූවේ ලකුණු 30/24 ලෙස මධ්‍යම පළාත අනුශුරයන් බවට පත් කරමිනි. මධ්‍යම පළාත ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ශුරතාවය හා අනුශුරතාවය ලබාගනිමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ගඟවටකෝරළයට.

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ගඟවටකෝරළයට. මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලියේ දී තියුනූ තරගයකින් පසුව ශූරතාවය දිනා ගැනීමට ඟගවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් විය. මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය ලකුණු හැත්තෑ හතක්(77) ලබා ගනිමින් ඟගවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිනා ගනිද්දී අනුශූරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමත් වූයේ ලකුණු 74 ක් ලබා ගනිමිනි. තරගාවලියේ මලල ක්‍රීඩා පිරිමි ශූරතාවය ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කාන්තා මලල ක්‍රීඩා ශූරතාවය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් හිමිකර ගන්නා ලද අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෆියා යමික් (100/200) ද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කළ පැතුම් හේරත්(දුර පැනීම) ද සම්මානයට පාත්‍ර විය. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්ස(20) අතර පැවැති මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිත අතර, ඉන් ජය ගනු ලබන්නන් මධ්‍යම පළාත නියෝජනය කරමින් 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබයි. මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී චන්න සෝමරත්න ගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරී කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර එම තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වින.

‘සංවර්ධන මගේ රට’ කෙටුම්පත්කරණයට සිසුන්ට ඉඩක්.

‘සංවර්ධන මගේ රට’ කෙටුම්පත්කරණයට සිසුන්ට ඉඩක්. ‘විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් හා තිරසර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට’ පාසල් දැනුවත් කිරීමේ ජාතික වැඩසට‍හනේ සමාරම්භක වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, පළාත් සභා ශ්‍රවනාගාරයේදී (10) පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය එකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරිණි. 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් බවට පත්කිරීම යන රජයේ දැක්ම පෙරදැරි කරගනිමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පණත් කෙටුම්පත හා ආර්ථික පරිවර්තන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුම්වත් කිරීම මෙහිදි සිදුවිණි. එහිදි මෙම පණත් කෙටුම්පත් සහ ඒවායෙන් මෙරට ආර්ථික ප්‍රගමනයට සිදුවන යහපත් බලපෑම සම්බන්ධයෙන්, අනාගත ශ්‍රම බලකාය සහ අනාගත වැඩිහිටි ප්‍රජාව ලෙස වත්මන් පාසල් සිසුන් දැනුවත් කිරීම තුළින් පුළුල් සමාජ කතිකාවතක් ආරම්භ කිරීම හා රජ‍යේ නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරවීම කෙරෙහි විවිධ මානයන්ගේ අදහස් ලබා ගැනීම සහ එම අදහස් උචිත පරිදි ප්‍රතිපත්ති සම්පාදනයේදී යොදා ගැනීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදි අදහස් දැක් වූ මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙසේ පැවසීය. 1948 පසුව වසර හැත්තෑ හයක කාලයක් විවිධ පක්ෂ ගණනාවක් මේ රට පාලනය කළා, ඒ කාල වකවානුවන් හී රට තුළ ඇති වූ අර්බූද නිසා සම්පත් රාශියක් විනාශයට පත් වූවා, 1971 හා 88/89 වර්ෂවල සිදුව කැරළි හේතුවෙන් විශාල දේපළ හා ජීවිත හානියක් සිදු වූවා, තිස් අවුරුද්දක් පැවති යුද්ධය හේතුවෙන් විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විනාශ වූවා. විනාශ වු රට ගොඩ ගන්න ණය ගන්න සිදු වුණා. ඒ නිසා රට අද මේ පවතින තත්ත්ව උදා වෙලා තිබෙනවා. මේ නිසා රජයන් මාරුවුවත්, දේශපාලන පක්ෂ මාරු වුවත් වෙනස් නොවන ප්‍රතිපත්ති රාමුවක් රටට අවශ්‍යයි. පාලනය වෙනස්වන විට පාලකයින් විසින් ඔවුනට අවශ්‍ය දේවල් සිදු කළා, ඒ නිසා අපට ජාතික වැඩපිලිවෙලක් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ සදහා අපි බොහෝ අවස්ථාවල පෙනි සිටියා, රටේ ආර්ථික සමාජීය දියුණුව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කළ යුතු, ඒ සඳහා නොවෙනස්වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුුතු කාලය එළඹී තිබෙනවා. මේ ර‍ටේ අවාසනාවකට හැත්තෑ හය වසරක පාලන කාලය තුළ එවැනි කටයුත්තක් සිදු කර නොහැකි වූ අවස්ථාවක වත්මන් ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කෙටුම්පත් පාසල් දරුවන් වෙත අධ්‍යනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවත් පැවසීය. ඉතිහාසයේ කවරදාකවත් මෙවැනි ආකාරයේ පණත් කෙටුම්පත් දෙකක් පාසල් දරුවන් වෙත දිරිපත් කර දරුවන්ගේ අදහස් ලබා ගත් අවස්ථා නොමැති බවත් එය ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම උත්සාහයක් බවත් අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ආර්ථික කටයුතු හසුරුවා ගැනීමටත් පාසල් දරුවන්ට වැදගත් වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනි විජේවර්ධන, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ, ජයනි වික්‍රමාරච්චි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ.පී. ජයමහ, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ හිටපු සභාපති පී.බී. මංගල යාපා, ජනාධිපති සහකාර ලේකම් ආර්.ඩී. උමේෂා මදුවන්ති, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත්ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහ‍පොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය අයතන නිලධාරින්, ගරු භවතුන්, ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින හා සිසු සිසුවියන් පිරිසක් එක් වූහ.

ශ්‍රී නාථ දේවාල දහම් පාසලේ 19 වන ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය.

ලංකේය බෞද්ධ සංස්කෘතිය අනාගත පරපුරට දායාද කොට ඉදිරියට රැගෙන යාමට දහම් පාසල් අධ්‍යාපනය ඉහළ කාර්යයක් ඉටු කරන බව පසුගිය (07) දින මහනුවර උඩරට කලා සංගම් ශ්‍රවනාගාරයේදී පැවති, මහනුවර ශ්‍රී නාථ දේවාල දහම් පාසලේ 19 වන ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශකර සිටියේය. 1997 නොවැම්බර් මස 01 දින, මහනුවර ශ්‍රී නාථ දේවාලය ආගමික හා සංස්කෘතික කේන්ද්‍රය ප්‍රමුඛව ආරම්භ කළ, මහනුවර ශ්‍රී නාථ දේවාල දහම් පාසැල අද වන විට අතුපතර විහිදගත් මහා වෘක්ෂයක් සේ තම ආගමික සංස්කෘතික වගකීම ඉටු කරමින් සිටී. ශ්‍රී නාථ දේවාල දහම් පාසලේන් ඉටු කෙරෙන මහා ආගමික සහ සමාජීය මෙහෙවරට සුභාසිංශන එක් කළ ආණ්ඩුකාරවරයා, වර්තමානයේ විභාග ඉලක්ක කරගත් දැඩි තරඟකාරී අධ්‍යාපන රටාවක් තුළ ඉරිදා දින දහම් අධ්‍යාපනය සඳහා දරු දැරියන්ගේ යොමුවීම අවම මට්ටමක පවතින බවත්, එම තත්වය වෙනස් කරමින් යහපත් අනාගතයක් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබා දීම සදහා වූ අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගෙන එමින් තව දුරටත් එම අවස්ථා ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ය. අපගේ දරු පරපුර සහ තරුණ පරපුර කළගුණ සලකන ජාතියක් ලෙස ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය යොමු කිරීම සිදු කෙරෙන ප්‍රමුඛතම ස්ථානය දහම් පාසැල බවත් ,එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ඉදිරියේදීත් ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති, උපාධ්‍යාය පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ මුලිකත්වයෙන් පැවති ත්‍යාග මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික,මහනුවර ශ්‍රී නාථ දේවාලය විහාරය,ගලේවෙල ඓතිහාසික බම්බාව රජමහා විහාරය යන විහාරද්වයාධිපති උපාධ්‍යාය පුජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී ගුණරත්න රතනසාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,මහනුවර අස්ගිරි මහා විහාර පරිවේණාධිපති,පල්ලෙකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පුජ්‍ය නරන්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයත් , මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්.බණ්ඩාරනායක, මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර, මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණල මහියංගන මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ නීතීඥ ගයාන් හීන්කෙන්ද, මහනුවර දිස්ත්‍රික් අතිරේක ලේකම්.ලලිත් ඇටම්පාවල , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර , මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය දහම් ගුරු සේවා ඇගයුම හා ශිෂ්‍යත්ව ප්‍රදානයන්ද සහිතව දහම් පාසලේ දරු දැරියන්ගේ විවිධ විසිතුරු ගායන සහ නර්තන අංගයන්ගෙන්ද සපිරිව සාර්ථකව පැවැත්වුණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook