ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය.

spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය. මධ්‍යම පළාතේ කුලුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යසායකත්ව සංවර්ධනය කිරීමත්, අලෙවි ප්‍රවර්ධන අවස්ථා උදා කිරීම හා ආදායම් උත්පාදන මාර්ග සලසා දීම, විශේෂාංගිකරණය වූ සහ අගය එකතු කළ කුලුබඩු නිෂ්පාදනයන් එකම වෙළඳ ස්ථානයකට ඒකරාශී කර ගනිමින්, එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ SPICY GALLERY 2023 අලෙවි ප්‍රදර්ශනයට සමගාමිව පාසල් ඉවුම් පිහුම් තරගාවලියක් පැවැත්විය. රටේ අනාගත දරු පරපුරට දේශීය කුළුබඩු භාවිතය පිළිබඳව අත්දැකීම් හා දැනුම සහ නව වැඩසටහන් සඳහා අවකාශය සලසා දුන් මෙම තරගයට මධ්‍යම පළාතේ සියලුම කලාප නියෝජනය කරමින් දරුදැරියන් පිරිසක් සහභාගී වුහ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධාන විනිශ්චයෙන් පසුගිය 15 වන දින කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ඉවුම් පිහුම් තරගාවලියේදී දරුවන් විසින් කුළු බඩු යොදා ගනිමින් රසවත් කළ විශේෂිත හා නව ආහාර වට්ටෝරු ඉදිරිපත් කර තිබූ අතරම ඒ කෙරෙහි විශේෂිත ඇගැයීමක් මෙන්ම ප්‍රධාන විනිශ්චය ලබා දීම ආචාර්ය පබිලිස් සිල්වා සිදු කල අතර , මෙහිදී සියලුම කලාප අතරින් වත්තේගම කලාපයෙන් මහවැලි මධ්‍යම මහා විද්‍යාල ප්‍රථම ස්ථානයත්, කටුගස්තොට කලාපයෙන් කටුගස්තොට උඩුව මහා විද්‍යාලය දෙවන ස්ථානයත්, නුවර කලාපයෙන් මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය තෙවන ස්ථානයත්, යන ස්ථාන ලබා ගනිමින් වටිනා ත්‍යාග හා සහතික පත් ලබා ගත්හ. එසේම සහභාගි වූ සියළුම කලාපවල දරුවන් සඳහා විශේෂිත වූ පාසල් උපකරණ සහිත ත්‍යාග කට්ටල පිරිනැමීමද සිදුවිය. එසේම කුළුබඩු වර්ග හා ඒවායේ භාවිතය තුළින් සිදුකළ හැකි එවුන් පියුම් වර්ග හා ක්‍රමවේදයන් පිළිබඳව හරවත් දේශනයකින් අදහස් දක්වමින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නිවැරදි ආහාර පුරුදු දේශය ආහාර රටාවන් දරුවන් වෙත කුඩා කල සිටම පුරුදු පුහුණු කළ යුතු බවත් එමගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට එය ඉවහල් වන බවත්ය. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සි වත්ත, ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය අධ්‍යක්ෂ, ඇතුළු ව්‍යසායකයින් වෛද්‍යවරුන්, ගුරුවරුන් හා දරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

spicy gallery 2023 අලෙවි ප්‍රදර්ශනය.

spicy gallery 2023 අලෙවි ප්‍රදර්ශනය. මධ්‍යම පළාතේ කුලුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යසායකත්ව සංවර්ධනය කිරීමත්, අලෙවි ප්‍රවර්ධන අවස්ථා උදා කිරීම හා ආදායම් උත්පාදන මාර්ග සලසා දීම, විශේෂාංගිකරණය වූ සහ අගය එකතු කළ කුලුබඩු නිෂ්පාදනයන් එකම වෙළඳ ස්ථානයකට ඒකරාශී කර ගනිමින්, එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ SPICY GALLERY 2023 අලෙවි ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධාන ආරාධිත්වයෙන් පසුගිය 15 වන දින කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම කුළුබඩු අලෙවි ප්‍රදර්ශනය අංශ 06 ක් ඔස්සේ ප්‍රදර්ශනය පැවැත්වුණ අතර, එහිදී ව්‍යවසායකයන්ගේ අත්දැකීම් හා දැනුම හුවමාරු කරගනිමින් දේශීය හා විදේශීය වශයෙන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවක් හා ව්‍යවසායකයින්ගේ හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ප්‍රදර්ශනය පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සි වත්ත, ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය අධ්‍යක්ෂ, ඇතුළු ව්‍යසායකයින් වෛද්‍යවරුන්, ගුරුවරුන් හා දරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී (17) සිදු විය.මෙම සංවර්ධන සැලැස්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු වෙත ඉදිරිපත් කර තවදුරටත් අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ අවසන් කෙටුම්පතය. මෙහීදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන බවත්, ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට නියමිත විශ්වවිද්‍යාල අතරින් කිහිපයක් ද මහනුවර පුරවරයට ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවටද මහනුවර පත්වනු ඇති බවත් ය. දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විසල් මහනුවර සංවර්ධන සැලැස්ම සකස් කෙරිණි. සංවර්ධන සැලැස්ම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් වු අතර මහනුවර පුරවරයේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතික උරුමය සුරකිමින් මෙන්ම ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරහි අවධානය යොමු කරමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මධ්‍යම පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ නිශාමණී අබේරත්න යන මහත්ම මහත්මීන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්, අදාළ රේඛීය ආයතනවල සභාපතිවරු ඇතුළු නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මහනුවර නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව අකුරණ නගර සංවර්ධනට අදාළ සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර අකුරණ නගර සංවර්ධනයට අදාළ සම්පුර්ණ වාර්තාවක් සති 06ක් තුළ ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

“කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ.

“කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ. මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ඇතුලු සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (17) සිදුවිය.මහනුවර මහා නගර සභාව විසින් කරළිය සම්මේලනය හා රංග කලා මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 2018 වර්ෂයේ ආරම්භ කරන ලද අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් නගර සභා අරමුදල මගින් වැය කොට තිබේ.මෙම සම්මේලනය සහ රංග කලා මධ්‍යස්ථානය ඉදි කිරීම මගින් නගරයේ යටිතල පහසුකම් අතරින් අඩු පාඩුවක්ව පැවති ශ්‍රවණාගාර පහසුකම් සැලසීම හා චිත්‍ර, මූර්ති ප්‍රදර්ශන සඳහා ශාලා පහසුකම් ඇති කිරීම අපේක්ෂා කරනු ලබයි. මහනුවර විධිමත් නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරයේ ලෝක උරුම ගොඩනැගිලි ලක්ෂණ පිළිබිඹු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මහනුවර මහ නගර සභාව එක්ව ක්‍රියාත්මක කළ “පිවිතුරු දොරකඩ” ව්‍යාපාරික දායකත්ව වැඩසටහන හා නගර අලංකරණ වැඩසටහනට ලබාදුන් දායකත්වය අගයමින් සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු වු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගැන්විණි. උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස තමා සියලු සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ය. ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකු අසීරු තීරණ ගැනීමට සූදානම් නොමැති බවත්, කෙතරම් දෝෂාරෝපණයට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන තමා ආරම්භ කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බවද මෙහිදි එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කර සිටිය්, ඓතිහාසික මහනුවර නගර මධ්‍යයේ ඉදිකල මේ රංගශාලා ගොඩනැගිල්ල ජනගත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බවත්, අනාගත කලා පරපුර වෙනුවෙන් මෙවැනි වටිනා සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපති කේසර සේනානායක මැතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට ස්තුතිවන්ත වන බවත්, ඩී.එස්.සේනානායක පුස්තකාලය ගිනිබත් වීමෙන් පසුව මේ රංග ශාලාව ඉදිකරනු ලැබු බවත්ය. දරුවන්ට ඒ වගේම අනාගතය බාරගන්න සියලු දෙනාට ඉතා වැදගත් වන නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම රංග ශාලාව නිසා මහනුවර නගරයේ වැදගත්කම තවත් වැඩි වීම සිදු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර මහා නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාතලේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් .

මාතලේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් . රොබෝවරුන් වගේ දරුවන් සමාජගත කිරීම නොව, අධ්‍යාපනයේ ප්‍රමුඛ අරමුණ වන්නේ සාරධර්ම වලින් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීමයි. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලන සමාජයක් නොව වගකීම් ඉටු කරන සමාජයක් ගොඩ නැගීමේ කාලය අද උදාවෙලා තියෙනවා. අධ්‍යාපනය, රැකියාව අරගල වලට සීමා නොකොට අයිතීන් වෙනුවට තම වගකීම් හා යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරීමට සැවොම පෙරට ආ යුතු කාලය අද උදාවී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ මාතලේ නගරික බල ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් පොත් කට්ටල ලබාදීමේ වැඩසහනක් සඳහා පසුගිය දා (14) එක් වෙමිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සිව් වස් පූර්ණය නිමිතිකොට ගෙන මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන මත මෙම වැඩසටහන මාතලේ නගර ශාලාවේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින. මෙහිදී තෝරාගත් පාසල් සිසු සිසුවියන් හා පෙර පාසල් දරුවන් දහසකට අධික පිරිසක් වෙත පොත් පත් බෙදා දීම සිදු කරන ලදී. මෙහිදි මධ්‍යම පළාත වෙනුවෙන් සිව්වසරක කාලය තුළ දී පළාත් ආණ්ඩුකාරවර ගමගේ මහතා විසින් සිදුකල සුවිශේෂී මෙහෙවර ඇගයීම වෙනුවෙන් මාතලේ මහනගර සභාවේ සැලසුම් ශිල්පී ඥානා නාගොල්ල මහත්මිය විසින් රචනා කරන ලද “සිව් වසරක පිය සටහන්” ග්‍රන්ථයක් එළි දැක්වම ද සිදු විය. මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ,පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, සහකාර පළාත් පාලන කොමසාරිස් (මාතලේ) එම්. හින්කෙන්ද, මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිශාන්ත මාධූවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක් ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook