පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ආපදාවන්ට පෙර සූදානම් වන ශක්තිමත් ප්‍රජාවක් වෙනුවෙන් වන ජාතික වැඩසටහන මහනුවරින් ඇරඹේ

ආපදාවන්ට පෙර සූදානම් වන ශක්තිමත් ප්‍රජාවක් වෙනුවෙන් වන ජාතික වැඩසටහන මහනුවරින් ඇරඹේ

හදිසි ආපදා සහ වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවේ ප්‍රජාව සවිබල ගැන්වීම, ප්‍රජා මට්ටමේ අවදානම් හඳුනාගැනීම හා කළමනාකරණය කිරීම මෙන්ම ආපදා සඳහා ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන (18) කටුගස්තොට සිනමන් මිස්ට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන, රටේ විවිධ ප්‍රදේශවල ජනතාව ආපදා අවස්ථාවන්ට පෙර සිටම සූදානම් කර තැබීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
යුනිසෙෆ් (UNICEF) ආයතනයේ ජාත්‍යන්තර හා මූල්‍ය සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවක සුවිශේෂී වැඩසටහනක් වන මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඇතිවිය හැකි ස්වභාවික හා වෙනත් ආපදා තත්ත්වයන් මෙන්ම වසංගත තත්ත්වයන්ට මුහුණදීමට ජනතාව සතු හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.ඒ අනුව, ප්‍රජාවට තම ප්‍රදේශයේ ඇති විය හැකි අවදානම් කල්තියා හඳුනාගැනීම, එම අවදානම් තක්සේරු කිරීම, අවදානම් කළමනාකරණය කිරීම සහ හදිසි තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අවබෝධය ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය. එමෙන්ම ආපදාවක් සිදුවීමෙන් පසුව ප්‍රජාව විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද ජනතාව දැනුවත් කිරීම මෙහිදී අවධානයට ලක් කෙරේ.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය ඇතුළු ආයතන නියෝජනය කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක නිලධාරීන් සහභාගී වූහ.මෙම වැඩසටහනේ අවසාන ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 1,000ක පමණ ප්‍රජා සාමාජිකයන් 20,000ක් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ. එමගින් තම ප්‍රදේශවලට ආවේණික ආපදා අවදානම් පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ඇති කරමින්, හදිසි අවස්ථාවකදී තමන්ගේ මෙන්ම අනෙකුත් ප්‍රජා සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.ප්‍රජාව පුහුණු කිරීමේ මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර, එම පුහුණු වැඩසටහන් මෙහෙයවීමට සහ සම්බන්ධීකරණය කිරීමට නියමිත ආයතනවල නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ලෙස අද පැවති සමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එමගින් ප්‍රජා පුහුණුකරුවන් ලෙස කටයුතු කරන නිලධාරීන්ට අවදානම් හඳුනාගැනීම, අවදානම් කළමනාකරණය, ප්‍රජා සහභාගීත්වය සහ ආපදා අවස්ථාවන්හිදී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීම අරමුණු කර ඇත.ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දෙවන වැඩසටහන කොළඹ ප්‍රදේශයේදීත්, තෙවන වැඩසටහන මඩකලපුව ප්‍රදේශයේදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එමගින් දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් ප්‍රජා මට්ටමේ ආපදා සූදානම තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.එම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
විශේෂයෙන්ම විවිධ ස්වභාවික ආපදා ඇතිවීමේ අවදානම ඉහළ කාලසීමාවක් ලෙස සැලකෙන වර්තමාන කාලපරිච්ඡේදය තුළ මෙවැනි ප්‍රජා දැනුවත් කිරීමේ හා සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිත පියවරක් වේ. ආපදාවක් ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීම පමණක් නොව, ආපදාවකට පෙර අවදානම් හඳුනාගෙන සූදානම් වීම තුළින් සිදුවිය හැකි ජීවිත හානි සහ දේපළ හානි අවම කරගැනීමට හැකි වන බැවින් ප්‍රජා මට්ටමේ සූදානම මෙවැනි ජාතික වැඩසටහන්වල ප්‍රමුඛ අරමුණක් බවට පත්ව තිබේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook