පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

නිදහස් දින පළාත් උළෙල ඵලදායි රුක් රෝපණය මුල් තැන දෙමින් අභිමානවත් ලෙස සැමරේ.

නිදහස් දින පළාත් උළෙල ඵලදායි රුක් රෝපණය මුල් තැන දෙමින් අභිමානවත් ලෙස සැමරේ.

නිදහස් දින පළාත් උළෙල ඵලදායි රුක් රෝපණය මුල් තැන දෙමින් අභිමානවත් ලෙස සැමරේ. 75 වැනි නිදහස් දින ජාතික උත්සවයට සමගාමීව පවත්වනු ලබන මධ්‍යම පළාත් උත්සවය චාම් ලෙසත් ගෞරවනීය ලෙසත් මිහිතලයට ඇවැසි හරිත තුරු දායාද කරමින් පල්ලේකැලේ ශ්‍රීලංකා යුධ හමුදා රයිෆල් බලකා පරිශ්‍රයේ දී ඉතා අභිමානවත් ලෙස අද පෙරවරුවේ පැවැත්විය .මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් උළෙල මධ්‍යම පළාත් සභාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රීලංකා යුධ හමුදාව එක්ව සංවිධානය කරනු ලැබිය . එහිදී සභාව ඇමතු පළාත් ආණ්ඩුකාරවරයා සිය නිදහස් දින පණිවුඩය සභාවට ඉදිරිපත් කරනු ලැබිය. “ ජාතියේ උස් නිදහස වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සිය ඇස් , ඉස්, මස්, ලේ දන් දෙමින් නිදහස් දේශය සුරකින ලද්දාවූ අභීත , නිර්භීත, අධිෂ්ඨානශීලී, උපක්‍රමශීලී, ජාතික වීරයන් සහ රණ විරුවන් අගය කරන දවස අදයි. මහත් අසීරුවෙන් බ්‍රිතාන්‍ය කිරිටයෙන් මිදි එදා ලබා ගත්තාවූ ඩොමීනියන් නිදහසත් ඉන් අත්පත් කරගත් ජයග්‍රහණත් සමරන දවස අදයි. 1505 සිට පෘතුගීසීන්ගෙන්, ලන්දේසීන්ගෙන්, ඉංග්‍රීසින්ගෙන් බැට කමින් දේශජ චින්තනයෙන් බැහැරව, බටහිර චින්තනය උසස් ලෙස දකින්නට කරන්නාවූ අනේක විද බලපෑම් වලින් මිදීමට ලද අවස්ථාව සිහි කරණ දවස අදයි. මහා වැව්, මහා වාපි, මහා වාරිමාර්ග නිර්මාණය කරමින් තාක්ෂණය පිළිබඳ ලෝකයාගේ පුදුමයක් ලෙස අදටත් සැලකෙන සීගිරිය වැනි මහා දේශීය ඉංජිනේරු තාක්ෂණයන් හා දැනුම පිළිබඳව නැවත නිදහසේ හිතන්නටත් නිර්මාණ කරන්නටත් වරම් ලැබූ දවස සමරන්නේ අදයි. යටත් විජිත පාලනයෙන් මිදී, නොරටුන් ගේ න්‍යාය පත්‍රයක් තුළ නොව තම රටේ අනාගතය ගැන සිතන්නට රටේ මිනිසුන් වෙත අවස්ථාව ලැබූ මොහොත සිහිකරන දවසයි. මේ අද අප සිහි කරනුයේ මින් 75 වසරකට පෙර එක්දහස් නමසිය හතලිස් අටෙ පෙබරවාරි හතරවැනි දිනයයි. හිරු නොනගින අධිරාජ්‍යයාගේ පාලනයෙන් ලංකාවට නිදහස ලැබූ දිනයයි. එදා සිට අද දක්වා ගෙවීගිය 75 වසරක කාලය සුමට සුමධුර එකක් නොවන වගත් එය දශක තුනක ත්‍රස්තවාදයේ කටු කොහුලින් පිරුණු එකක් බව නොරහසකි. ජාති ආගම් වැනි නොයෙකුත් බෙදීම් වලින් එකිනෙකා අවිශ්වාසයෙන් ගත කළ සංවර්ධනයට එක්ව යානොහැකි වූ ගිරි දුර්ඝයන්ගෙන් යුක්ත වූවකි. ගෙවී ගියේ ලැබූ අවස්ථාවන් නිවැරදි ලෙස කළමනාකරණය කිරීමෙන් තොරව අපතේ ගියා වූ සඵල නොවූ අපල කාලයකි. අතීත ශ්‍රී විභූතියෙන් මන්මත්වු ජාතියක් ලෙස එදා ධනයෙන් ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ජාතියක් සාහිත්‍ය කලාවෙන් ලෝකය එකලු කළ ජාතියක් අද සිටින තැන ගැන ආඩම්බර විය නොහැකි බව ඔබත් මමත් අත් විදිනකටුක සත්‍යයක්. නිදහසින් 75 වසරකට පසු අප අද අප පසු කරමින් සිටින්නේ අභියෝග විවිධාකාර ලෙසින් මතු වී අනෙක විද ලෙසින් ලාංකික ඔබ අප පෙළමින් තිබෙන මොහොතක්. අප හමුවේ ඉදිරිපත් වි ඇති අභියෝග ජයගත යුතුම, ජය නොගත හොත් නැවත වරක් රටක් ලෙස නැගී සිටීමට අවස්ථාවක් නොලැබෙන අති සංකීර්ණ ආර්ථික , සමාජ හා දේශපාලන මෙන්ම පාරිසරික ගැටලුවක්. අපෙන් පසුව මේ රටේ හිමි කරුවන් වෙත මේ රට නැවත භාරදීමේ වගකීම අප සතුව තිබෙනවා. රටට ලෝකයට පලක් නොමැති නිකමුන් ලෙස නොව උසස්, උදාර , නිවහල් ජාතියක් ලෙස, ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව නැගී සිටීමට අවැසි කාලය උදාවී ඇත. “ පැවසිය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ ආණ්ඩුකාරවරයා “ ජාතියට , මවු බිමට , අපට උරුමවූ අපේ අනන්‍ය සංස්කෘතියට ගරු කරන්නට, එය රැක ගන්නට වත්මනේ අප සැමට වගකීමක් ඇති අතර අනෙකුන්ගේ සහාය දෙස බලා නිවටව, නියාලුව නිකමුන් ලෙස නොව අපේ වගකීම ඉටු කරන්නට අපි 75වන නිදහස් දිනයේදී ඉටා ගතයුතු බවත් , ජාති, ආගම්, කුල මල දේශපාලන භේදයකින් තොරව එකට එක්වන ලෙසටත් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ද නිදහස් උළෙල ඇමතිය . අනතුරුව අක්කර 11 ක භුමි භාගයක් පුරා පොල් පැල 660 ක්, අනෝදා පැල 1000 ක් ඇතුළුව 2000 කට වැඩි පැල සංඛ්‍යාවක් රෝපණය කරනු ලැබිය . ඒ පැල අතර කුඹුක් 160 ක්, මී 100 , රකෝන් 40 , දූරියන් 05 , අඹ 10 පිණි ජම්බු 05, නෙල්ලි 08, දොඩම් 13 , කාමරංගා 05 ,රඹුටන් 09 ,බෙලි 08 , කරවල කැබිල්ල05 , උගුරැස්ස 14 , අලිපේර 09 , සහ සැපතිල්ලා 10 ක් ද විය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන මගින් මෙම පැල සපයනු ලැබිය. ශ්‍රී ලංකා 11 වන පාබල සේනාවේ සේනාංකාධිපති මේජර් ජනරාල් රෝහිත අලුවිහාරේ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ,ඉන්දියානු සහකාර කොමසාරිස් වෛද්‍ය අතිරා මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් සහ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා යුධ හමුදා නිලධාරින් මෙම අවස්ථාවට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook