පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සංස්කෘතිය දියුණු, ගුණාත්මක සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් පාසල් මට්ටමේ සිට සිසු දරු දැරියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා සන්නිවේදන කුසලතා දියුණු කර ප්‍රබුද්ධ පරිකල්පනයෙන් යුත් අනාගත සිසු පරපුරක් අපේක්ෂාව පෙරදැරිව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා (03) නුවරඑළිය කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීකාන්ත් සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නු/ ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.ගාමිණී මධ්‍ය හා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා නුවරඑළිය යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රීයව පවත්වාගෙන යාම හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දේශනයක් මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් පැවැත්වීය.මෙම අවස්ථාවට නුවරඑළිය කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය උපදේශක නිල්මිණි දිසානායක මහත්මිය, විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එම්. නිමල් කුමාරදාස මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන්, සිසු සිසුවියන් හා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශිෂ්‍යත්ව පැන විසඳුම් පාඨශාලාන්තර දැනුම මිනුම තරගාවලිය

ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගෙන මහ/ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පැන විසඳුම් පාඨශාලාන්තර දැනුම මිනුම තරගාවලිය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. සී.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සහ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැති මෙම තරගාවලියේදී දියුණු තරගයකින් අනතුරුව ජනාධිපති විද්‍යාලය එහි ශූරතාවය හිමිකර ගත්තේය. මෙහිදී අදහස් දැක්වූ ඩී.සී.අයි අන්දරගේ මහත්මිය මෙම තරගාවලිය පළාතේ අනෙකුත් ප්‍රාථමික මෙන්ම ද්විතීක පාසල්වලට ද ආදර්ශයක් බව සඳහන් කළාය. එසේම දරුවන්ගේ විෂයානු බද්ධ හා විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳවද මෙහිදී ඇගයීමක් කළාය.සිසු දරුවන්ගේ සෞන්දර්යාත්මක අංගයන්ගෙන් ද සමන්විත වූ මෙම තරගාවලිය සඳහා විද්‍යාලය විදුහල්පති ඩී. එම් .ජේ.දිසානායක මහතා ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා, ගුරුභවතුන්, දෙමව්පියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජනාධිපති විද්‍යාලයේ සිඟිති සිත්තරු සිතුවම් දැක්ම

ජනාධිපති විද්‍යාලයේ සිඟිති සිත්තරු සිතුවම් දැක්ම මහ/ ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කළ "සිඟිති සිත්තරු සිතුවම් දැක්ම" මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. සිසු දරුවන්ගේ දක්ෂතාවයන් එළිදැක්වීම හා තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් මිදී සෞන්දර්යාත්මක හා කලාත්මක හැකියාවන් සංවර්ධනය මෙම වැඩසටහනේ අරමුණයි. මෙම ප්‍රදර්ශනය සඳහා විද්‍යාලයේ විදුහල්පති ඩී. එම් .ජේ.දිසානායක මහතා, ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා, ගුරුභවතුන්, දෙමව්පියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ඩෙල්ටා ගැමුණුපුර මහ විද්‍යාලයේ දී.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ඩෙල්ටා ගැමුණුපුර මහ විද්‍යාලයේ දී පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේ දී පසුගියදා (04) පැවැත්විණි. මෙහිදී මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, ඒවා සක්‍රීයව පවත්වාගෙන යාම සදහා පාසල් සිසු සිසුවියන් දායකත්වය හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දේශනයක් පැවැත්වීය.කොත්මලේ කලාපයේ මාධ්‍ය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දිනූෂ පෙරේරා මහතාගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජී. එස්. යූ.කේ. ජයතිස්ස මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු මහත්මිය, සිසු සිසුවියන් හා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර.

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර. සිසු කුසලතා ඇගයීම අරමුණු කරගනිමින් උලපනේ මහා විද්‍යාලයේ “ප්‍රභාවී” සෞන්දර්යාත්මක වැඩසටහන විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණමාලි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනි වී.පී. ජයරත්න මහත්මිය, විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook