පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

අඹතැන්න, කහවත්ත කිංග්ස්කෝර්ට් නව පාලම ජනතා අයිතියට...

අඹතැන්න, කහවත්ත කිංග්ස්කෝර්ට් නව පාලම ජනතා අයිතියට... මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඹතැන්න, කහවත්ත කිංග්ස්කෝර්ට් නව පාලම විවෘත කිරීම (18) සිදු කෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත‍ාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 65 ක මුල්‍ය අනුග්‍රහය යටතේ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විසින් මෙම පාලම ඉදිකර ඇත. මෙම පාලම විවෘත කිරීම මගිනු අකුරණ ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය අවම කිරීම සඳහා සහාය ලැබීමත් සහ පූරාපිටිය ප්‍ර‍ාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 67 ක ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසේ. මීට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ස්වයං රැකියාවක් ලෙස කුකුළු පැටව් නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායයකයින් තිදෙනෙක් සඳහා කුකුළු බිත්තර රැක්කවීමේ යන්ත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් ඩී.එන්.එස්.කේ. දීගල, පූජාපිටිය ප්‍රාදේශිය සභා ලේකම් සභා ලේකම් කුෂානී ජයරත්න, මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී වූහ.

48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ රට හරහා දිවීමේ තරගයේ වැඩි දස්කම් මධ්‍යම පලාතෙන් .

48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ රට හරහා දිවීමේ තරගයේ වැඩි දස්කම් මධ්‍යම පලාතෙන්. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවති රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය බස්නාහිර පළාතේ ආර්.එම්.එස්.පුෂ්ප කුමාර ක්‍රීඩකයා (34.04) දිනාගත් අතර කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ එච්.එම්.සී.එස්.හේරත් ක්‍රීඩිකාව (39.30) සමත් විය. කිලෝමීටර් 10 ක් වූ මෙම තරගයේ පිරිමි අංශයේ දෙවන ස්ථානය මධ්‍යම පළාතේ වී. විකාශන් (34.04), තෙවන ස්ථානය ඌව පළාතේ ටී.එම්. එරන්ද තෙන්නකෝන් (34.38) දිනා ගැනීමට සමත් වූ අතර , කාන්තා අංශයේ දෙවන ස්ථානය නැගෙනහිර පළාතේ ඩබ්.ඒ.එම්.ආර්. විජේසූරිය (39.32) ද තෙවන ස්ථානය ඌව පළාතේ ඩබ්.එම්. නිමේෂා නිදර්ශනී ද හිමිවිය. (39.50) තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාවය ඌව පළාත හිමිකර ගැනීමට සමත් වූ අතර එහි අනු ශූරතාවය මධ්‍යම පළාත හිමි කර ගන්නා ලදී. මධ්‍යම පළාත කාන්තා කණ්ඩායම් ශූරතාවය දිනා ගන්නා ලද අතර අනු ශූරතාවය සබරගමුව පළාත ට හිමි විය. වසර හතරකට පසු පැවැත්වූ මෙම තරගය සදහා පළාත් නවයම නියෝජනය කරමින් පිරිමි අංශයෙන් ක්‍රීඩකයන් 79 දෙනෙකු හා කාන්තා අංශය නියෝජනය කරමින් ක්‍රීඩකාවන් 47 දෙනෙක් සහභාගි විය. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද මෙම තරගාවලිය16 දා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (රියර් අද්මිරාල්) මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය කිරීම සිදුවිය.

“මැදරට දිනන දරුවෝ” පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ දී 1143 දෙනෙකු ඇගයීමට.

“මැදරට දිනන දරුවෝ” පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ දී 1143 දෙනෙකු ඇගයීමට. “මැදරට දිනන දරුවෝ”මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය 15 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මධ්‍යම පළාත ට ක්‍රීඩාවෙන් අභිමානයක් ගෙනදුන් දිරිය දරුවන් ඇගයීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී 2023 වර්ෂයේ පවත්වන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත් මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග නියෝජනය කිරීම හා ඉන් ජයග්‍රහණ ලබාගත් මැදරට දිරිය දරුවන්හට තිළිණ ප්‍රදානය කිරීම සිදුකරන ලදි. මෙම ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා වෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සුවිශේෂී වර්ණ ලාභීන් දෙදෙනකු විශේෂ ඇගයීමට ලක් කෙරිණ. වසර 21 කට පසුව ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නාමය බබලවමින් මීටර්800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ තරුෂි කරුණාරත්න ක්‍රිඩිකාව මෙහිදී සුවිශේෂී ඇගයීමට ලක් විය. ඇය කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 රන් පදක්කම දිනා ගැනීම, මීටර 400 දෙවන ස්ථානය, 400*4 සහය දීවිමේ තෙවන ස්ථානය හිමිකර ගෙන ඇති අතර, බැංකොක් හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 ප්‍රථම ස්ථානය , මිශ්‍ර සහාය අංශයේ රිදී පදක්කම දිනා ගැනීම සහ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 රන් පදක්කම හා මිශ්‍ර සහාය අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති අතර, පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී නව වාර්තාවක් සමගින් මීටර් 400 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කේ. එල්. ඒ. අකලංක ක්‍රීඩකයා ද මෙහිදී සුවිශේෂී ඇගයිමට ලක්විය. උස්බෙකිස්ථානයේ පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගැනීමත්, ට්‍රිනිඩෑඩ් හි පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් වී ඇති මෙම ක්‍රීඩකයා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් වල සිව්වන ස්ථානයේ පසුවීම විශේෂත්වයකි. අකලංක ක්‍රීඩකයා පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 හා 400 කඩුලුමතින් දිවීමේ ඉසව්වලින් ප්‍රථම ස්ථානයන් දිනා ගනිමින් දක්ෂතා දක්වා ඇත. මෙම උත්සවයේ දී පළාතේ අධ්‍යාපන කලාප 15 අතරින් ශූරතාවය හිමිකර ගැනීමට ලකුණු 183ක් රැස්කර ගත් වත්තේගම අධ්‍යාපන කලාපය සමත් වූ අතර අනු ශූරතාවය මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගනු ලැබුවේ ලකුණු 125ක් හිමිකර ගනිමිනි. ලකුණු 91 ලබාගත් හැටන් අධ්‍යාපන කලාපයට තෙවන ස්ථානය හිමි විය. මෙම වර්ණ ප්‍රදානෝත්සවයේ දී ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අමතරව පළාතේ ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවාව අගයමින් ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා ගුරුවරුන්, කණ්ඩායම් භාර ආචර්යවරුන්, විදුහල්පති වරුන්, ක්‍රීඩා ගුරු උපදේශකයින් හා සම්පත්දායකයින්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්(ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) ඇතුළු 1143 දෙනෙකු මෙහිදී ඇගයීමට හා සම්මානයට ලක් කෙරින. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරන ලද මෙම වර්ණ ප්‍රධානය කිරීමේ උත්සවය සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ජී.අමරසිරි පියදාස , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් ,ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

කන්ද උඩරට නිල් මහ සටන ජය පැරදුමෙන් තොරව අවසන්.

කන්ද උඩරට නිල් මහ සටන ජය පැරදුමෙන් තොරව අවසන්. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර 105 වැනි වරට පවත්වන ලද “කන්ද උඩරට නිල් මහ සටන” ක්‍රිකට් තරගය පසුගියදා ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 249 ලබාගත් අතර , ත්‍රිත්ව කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 09ක් දැවී ලකුණු 232 ක් රැස්කරගෙන සිටියදී තරගය නිමාවට පත්විය. ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිමේදී කණ්ඩායම් නායක තිසර ඒකනායක 63රැස්කරගත් අතර , ජනිත් රත්නසිරි ලකුණු 59ක් ද කෞෂික කුමාරසිංහ 32 ද රස කළේය. පන්දු යැවීමේ දී මනුල කුලරත්න 02/68, දිනුක තෙන්නකෝන් 02/43, වතිල උදාර 02/33, සුපුන් වඩුගේ 02/14 ලෙස දස්කම් දැක්විය. ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් විදුක ධම්මගේ 70, ඩිමන්ත මහවිතාන 39, මනුල කුලරත්න 36 ලකුණු රැස් කළේය. පන්දු යැවීමේදී බිමාෂ් විදුදය 03/30, කවීෂ පියුමාල් 02/60 තිසර ඒකනායක 01/36 දවා ගැනීමට සමත්විය. පාසල් දෙක අතර පැවති තරගාවලි ඉතිහාසය තුළ තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණු 70 වැනි තරගය ලෙස මෙය වාර්තා අතරට එක් විය.

දිගන නගරයේ ඉදි කළ නව ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම හා එහි දෙවන අදියර සඳහා මුල්ගල් තැබේ.

දිගන නගරයේ ඉදි කළ නව ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම හා එහි දෙවන අදියර සඳහා මුල්ගල් තැබේ. මහනුවර තරණ බෞද්ධ සංගමය දායකත්වයෙන් දිගන නගරයේ ඉදි කළ නව ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම හා එහි දෙවන අදියර සඳහා මුල්ගල් තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වන දා සිදු විය. මෙම අවස්ථාවට සහභාගි වෙමින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වසර හැටක් පුරාවට තරුණ බෞද්ධ සංගමය විසින් සිදු කරනු ලැබූ ආගමික හා සංස්කෘතික සේවාව අගය කළ අතර මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් ශ්‍රි දළදා මාළිගාව වෙතින් ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළා. මෙම සත්කාරය අගය කළ ආණ්ඩුකාරවර ගමගේ මහතා මුදල් කේන්ද්‍රීයව පවතින සමාජයක ආගමික හා සංස්කෘතික පරිසරයක් තුළින් හදවත් හොඳ මිනිසුන් නිර්මාණය වන බවත් එමගින් මෙවැනි යහපත් කටයුතු සිදු කරන බවත් සඳහන් කළා. එවැනි යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා වූ අධ්‍යාපනික ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය ද ගමගේ මහතා අවධාරණය කෙරිණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් පරිවාස කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මිය, මහවැලි අධිකාරියේ දිගන ව්‍යාපාර කළමනාකරු එච්.එම් හේරත් මහතා, මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සභාපති වික්‍රම පී. වී. තෙන්නකෝන් මහතා හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook