පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් පසුගියදා (22) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම්. සේනානායක මහතාගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී ආශා තිලකරත්න මහත්මියගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුව

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුව නව ලොව අභියෝග ජයගැනීම සඳහා දරු පිරිසක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වෙමින් රට මුහුණදී සිටින බලශක්ති අර්බුදයට නිසි විසදුම් සෙවීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු දරුවන් වෙත ලබාදීමත් අරමුණු කර ගනිමින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩසටහනක් පසුගියදා නු/හරංගල ද්විතීයික විද්‍යාලයේදී පැවැත්විණ. නු/හරංගල ද්විතීයික විද්‍යාලයේ විදුහල්පති ඊ.ජී.හේරත් බංඩා මහතාගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ගමගේ මහතාගේ සහ ආශා තිලකරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත 2023 වර්ෂයේ ඉදිරිපත් වූ මහජන ගැටළු වලින් සියයට 90 කට විසදුම් ලැබි ඇති බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත 2023 වර්ෂයේ ඉදිරිපත් වූ මහජන ගැටළු වලින් සියයට 90 කට විසදුම් ලැබි ඇති බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති අවස්ථාවේදී ය.මහා මාර්ග, මාර්ග නඩත්තු, ප්‍රවාහන, කර්මාන්ත, කෘෂිකාර්මික, ඉඩම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් යටතේ මෙම ගැටළු කමිටුවට ඉදිරිපත් වී පැවති බවත්, ඉන් විසදීමට නොහැකි වූ සියයට 10 ක් පමණ වූ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා ගැනීමට අදාළ ආයතන වෙත යොමු කර ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ රැස්වීමේදී පළාතේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති ඉදිරි පියවරයන් පිළිබඳව කරුණු දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා පැවසූයේ දැනට පාසල් වෙත ක්‍රියාත්මක කොට ඇති නව නීතිරීති මගින් ගුරුවරුන් ගේ භූමිකාව පාසල තුල වඩා සක්‍රීයව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම උදා කිරීම අපේක්ෂාව වන බවත් , එලෙස නොකර පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කරන ගුරුවරුන් වෙත නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත්, . අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් පළාතේ පවතින සියලු පාසල් වෙත නව අංග රැසක් එක් කරමින් කටයුතු යෙදීමට පියවර ගෙන ඇති බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් දැනට පවතින ප්‍රධානම බාධකය වන ගුරු හිගයට පිළියම් ලෙස ස්වෙච්චා ගුරු සේවාවක් ආරම්භ කරමින් රටටම ආදර්ශයක් සැපයීමට මධ්‍යම පළාත මේ වන විට ක්‍රියා කර ඇති බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. පළාත් සභා ආයෝජන සැලැස්ම ඉදිරිපත් කරමින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ. ජී. නිශ්ශංක මහතා පැවසූයේ ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වන සැලසුම් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 1462 ක් වන බවත් ඒ සඳහා රුපියල් මිලියන 2594 ක මුදලක් වෙන් කොට ඇති බව පෙන්වා දුන් අතර අග්‍රිම ලැබෙන පිළිවෙළ අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවත් මේ වන විට ව්‍යාපෘති 152 වැඩ අවසන් කර පවතින බවද පෙන්වා දුන්නේය. මහනුවර නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සදහා නගර සංවර්ධන කමිටුවේ අවධානය යොමු කරන ලෙසටත් නගරය අවලස්සන වන ලෙසින් පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් පවතින නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටු සභාපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදීම ද සිදු කරන ලදී.කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, කෘෂි කර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

පළාතේ තෝරා ගත් පාසල් සඳහා පොත් කට්ටල පිරිනැමේ.

පළාතේ තෝරා ගත් පාසල් සඳහා පොත් කට්ටල පිරිනැමේ නියමිත වෙලාවට සිය කටයුතු ඉටු කරලීමෙන් සිසු දරුවනට ආදර්ශයක් ලබා දීම ගුරුභවතුන්ගේ වගකීමක් බව ද, ජපාන පාසල් අධ්‍යාපනය ඉහළ තලයක පවත්වා ගැනීම මෙයට දිය හැකි හොඳම උදාහරණයක් බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. නිදහස් අධ්‍යාපන පිළිවෙතේ ප්‍රතිඵල අදත් අප භුක්ති විඳින බව සිහිපත් කළ ඒ මහතා එය අවභාවිත කිරීම කිසිසේත්ම නො කළ යුත්තක් ය යන්න ද පෙන්වා දුන්නේ ය. විභාග සමත්වීම මෙන්ම සාහිත්‍ය ඇසුර ද සිසුන්ගේ පෞරුෂ වර්ධනයට අතිශය වැදගත් වන බව අනතුරුව ඔහු සඳහන් කළේ වර්තමානයේ ඇතැම් වෘත්තිකයන් සිය උරුමය බැහැර කොට විදෙස් ගත වීමේ නැඹුරුව කනගාටුදායක වූවක් බව අවධාරණය කරමිනි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් දැක්වූයේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද දින (22) සංවිධානය කොට තිබු පළාතේ තෝරා ගත් පාසල් 27 ක පුස්තකාල සඳහා පොත් කට්ටල පිරිනැමීමේ සුවිශේෂ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ආසියානු සංවර්ධන පදනම විසින් ලබා දෙනු ලැබූ පොත් 2190ක් මෙසේ බෙදා දීමට පියවර ගැනිණි. එහි මූල්‍යමය වටිනාකම රු. 810,445.60කි.උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන දුෂ්කර හා අධ්‍යාපනික පොත පත්වල අවශ්‍යතාව සහිත පාසල් අතරින් මෙම පාසල් 27 තෝරා ගෙන තිබිණි. සිංහල මාධ්‍ය පාසල් 22කි. දමිළ මාධ්‍ය පාසල් 05කි. උසස් පෙළ සියලු විෂය ක්ෂේත්‍ර ආවරණය වන පොත පතට අමතරව සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා ත්‍රයෙන්ම රචිත ළමා කතන්දර පොත් ද පිරිනමනු ලැබී ය. මේ අවස්ථාවට මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති නීතිවේදී නිමල් ද සේරම් මහතා හා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය ද, පොත් කට්ටල පිරිනැමුණු පාසල්වල විදුහල්පතිවරු හා ගුරු භවතුන් ද සහභාගී වී සිටියහ.වැඩසටහන සංවිධානය කොට තිබුණේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ කාර්ය මණ්ඩලය යි.

හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ වාණිජ අංශයේ විශිෂ්ඨයන් සමන්එළියෙන්.

හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ වාණිජ අංශයේ විශිෂ්ඨයන් සමන්එළියෙන්. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් වාණිජ විෂය ධාරාවේ හැටන් අධ්‍යාපන කලාපයේ ඉහල ම ප්‍රතිඵලය වාර්තා කිරීමට මස්කෙළිය සමන්එලිය මහා විද්‍යාලයේ සිසුන් සමත් වේ. එම සිසුන් 100% ක සමත් ප්‍රතිශතයක් වාර්තා කොට ඇත්තේ කිසිදු විෂයයකට නිශ්චිත ගුරු භවතුන් නොමැති වීම විශේෂත්වයකි.විදුහල්පති අරුණ ශාන්ත කුමාර මහතා සහ තවත් ගුරු භවතුන් කිහිපදෙනෙකු ගේ සහාය ලබා ගනිමින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කිරීමෙන් මෙම ප්‍රතිඵලය පෙන්නුම් කිරීමේ පුර්වදර්ශි ක්‍රියාව ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා විශේෂ ඇගයීමට ලක් කෙරෙණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමේදී පැමිණීම 80% අනිවාර්යෙන්ම සලකා බලන බවත් පාසල් වල පවතින ගුරු ඌනතාවය විසදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් දැනටමත් සකසා අවසන් බවත් සදහන් කළ සිටියේය. ප්‍රධාන ශාලාවේ පැවති ඇගයුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ලේකම්වරයා දරුවන් හා ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් එක්වීමෙන් මෙවන් අඩු පහසුකම් සහිත ප්‍රදේශයකින් ලබා දුන් ප්‍රතිඵලයට ගරු කිරීමක් ලෙස විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සම්පුර්ණ කර ගැනීමට පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රතිපදාන වෙන් කරනු ලබන බව පැවසිය. පළාතේ අධ්‍යාපනය ඉහල නැංවීම අරමුණු ව හදුනා ගත් විශේෂ ව්‍යාපෘති ගණනාවක් පළාත තුල ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇති බවත්, එහිදී අඩු පහසුකම් සහිත අධ්‍යාපන කලාප සදහා ප්‍රමුඛත්වය හිමිවන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කල ලේකම් වරයා , සියලු උත්සාහයන් හි නිසි ප්‍රතිඵල ලබන්නට නම් විදුහල්පතිවරයා ගේ සිට දරුවන් දක්වාත් පාසල් ප්‍රජාව ගේ ද සක්‍රිය දායකත්වය , කැපවීම අවශ්‍ය බවත් අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook