
‘මහනුවර පොත් දැක්ම 2024’ ඇරඹේ.
‘මහනුවර පොත් දැක්ම 2024’ ඇරඹේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන ‘මහනුවර පොත් දැක්ම 2024’ මහනුවර සිටි සෙන්ටර්හීදී පසුගියදා (01) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් ආරම්භ කෙරිණි. ‘පැණ සර ලොවකට පියාපත්’ යන තේමාව යටතේ මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පමණක් දෙවැනි වන මෙම පොත් ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශකයින් ඇතුළුව ප්‍රකාශකයින් පණහක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.මෙම ප්‍රදර්ශනයට සමගාමීව පොත් එළි දැක්වීම, විශේෂ දේශන ආදිය ද සංවිධානය කර ඇති අතර විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව සළසා ඇත.මෙම ප්‍රදර්ශනය විවෘත කරමින් අදහස් දැක් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, පාසල් දරුවන්, දෙමාපියන් ඇතුළු සමාජයම තරගකාරි අධ්‍යපන රටාවක් පවතින පොත් කියවීම ඈත්වී යන අවස්ථාවක මහනුවර පොත් දැක්ම සංවිධානය කරමින්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ලබා දෙන දායකත්වය, මධ්‍යම පළාත හා රජය ලෙසින් ඊට ප්‍රණාමය හා ගෞරවය පුද කර සිටින බව සඳහන් කළේය.ආර්ථික අර්බුදය පවතින මෙවැනි වකවනුවක පොත් මුද්‍රණය කිරීමත් අභියෝගයක් වන අවස්ථාවක මෙවැනි පොත් ප්‍රදර්ශනයක් සමාජගත කරමින්, සහනදායි මිලකට පොත්පත් ලබා දෙමින් සමාජයට කරනු ලබන සේවය ද අගය කරන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ( මහනුවර/මාතලේ දිසා භාර) මහින්ද දිසානායක, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර, ලේකම් දිනේෂ් කුලතුංග, භාණ්ඩාගාරික අතුල ජයකොඩි ඇතුළු සංගමයේ සාමාජිකයින්, කැන්ඩි සිටි සෙන්ටර් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මාධව ජයසිංහ යන මහත්වරුන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේංසිහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.