ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

මධ්‍යම පළාතේ ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක්.

මධ්‍යම පළාතේ ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක්. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු අංශය හා හදබිම අධිකාරිය එක්ව මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18ක ප්‍රතිලාභීන් 50 දෙනෙකු සඳහා කුකුළු පැටවුන් 500ක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ ( 30) මහනුවර බෝගම්බර පිහිටි සමුපකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී එක් පවුලක් සඳහා කුකුල් පැටවුන් 10 ක ගෙන් යුතු ඒකකයක් ලබා දෙන ලදී. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතාගේ හා වනිතා කටයුතු අංශයේ අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට සමුපකාර දෙපාර්තුමේන්තුවේ පළාත් කොමසාරිස් අමිල නවරත්න, හදබිම අධිකාරියේ නිලධාරීන් ඇතුළුරාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් පිරිසක් සහභාගි වූහ.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට නව කෝප්සිටි වෙළෙඳ සැලක් විවෘත කෙරේ.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට නව කෝප්සිටි වෙළෙඳ සැලක් විවෘත කෙරේ. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වූ සමුපකාර නව කෝප්සිටි වෙළද සැළක් ඊයේ (30) මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සුරතින් පාරිභෝගික අයිතියට පත් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සදහා ලක්ෂ 40 කට ආසන්න මුදලක් වැය කෙරිණි. මධ්‍යම පළාත් සමුපකාර ලේකම් උපාලි රණවක මහතා,සමුපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරු ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවේ.

රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවේ. මේ වනවිට රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය සහිත රෝහල බවට මහනුවර ජාතික රෝහල පත්ව ඇති බවත් , දෛනිකව රෝගීන් 72ක් එහි වාර්තා වන බවත් එය කොළඹ ජාතික රෝහලේ අගය වන 66 දෙනා ඉක්මවා ගොස් ඇති බවත් ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි මහතා පවසයි. ඩෙංගු රෝගයෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කය තුළ මරණ 8ල් වාර්තාවී ඇති අතර ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය මගින් 47 වන සතියේ නිකුත් කරන ලද තොරතුරු අනුව (පසුගිය සතිය ) ඩෙංගු රෝගීන් 335ක් වාර්තා වී ඇති බව ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි පවසයි. 2023 වර්ෂය තුළ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් 7422ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මහනුවර නාගරික බල ප්‍රදේශයෙනි. එම අගය 1431 වේ. දෛනිකව මහනුවර නගරයට ලක්ෂ තුනකට අදික ජනතාවක් පැමිණෙන බැවින් මේ තත්වය පාලනය කිරීම සදහා සියලු ප්‍රජාවගේ දායකත්වය හා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලේ සහය අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන් අතර පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් ඒ සදහා ගතයුතු පියවර පිළිබදව මෙහිදී සාකච්ජා කෙරිණි. පසුගිය වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල මහනුවර ඉහල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් එම තත්වය මේ වර්ෂයේ වලක්වා ගැනීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දෙන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් එකාබද්ධව මෙම ඩෙංගු උවදුර තුරන් කිරීමට කඩිනමින් කටයුතු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා මාසයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මධ්‍යම පළාත් තුළම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද ඒ සදහා සියලු රාජ්‍ය ආයතන මැදිහත්ව දායක වන ලෙස ද මෙහිදී දන්වන ලදී. ඒ මහතා මේ බව පැවසුයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ පැවති (28) දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදීය. ප්‍රාදේශීය සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටුව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල ,ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි ,දිස්ත්‍රික්කයේ සෞබ්‍යය වෛද්‍ය නිලධාරින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටිහය.

මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023”

මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023” වසරේ විශිෂ්ටතම ගුරු විදුහල්පතිවරුන් අගයන මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023” වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී 29 දින පැවැත්විණ. මෙහිදී ජාතික මට්ටමේ පාසල් ව්‍යවහාර නිර්ණායක පදනම් කරගනිමින් මධ්‍යම පළාතේ පවතින කලාප අධ්‍යාපන කාර්යාල 15 නියෝජනය කරමින් පාසල් 22ක් සදහා ඇගයීම සිදු කරනු ලැබූ අතර මෙම වැඩසටහනේදී ප්‍රණාම ලාභින් ලෙස විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තිස් දෙදෙනෙකු සදහා (32) ඇගයීම් පත්‍ර ලබාදීම සිදු කරනු ලැබූ අතර , පළාතේ ඕනෑම අධ්‍යාපන කාර්යයකදී විශේෂ අනුග්‍රහයක් ලැබීම සදහා වන "ප්‍රමුඛතා සේවා පතක් " මොවුන් සියලු දෙනා වෙත පිරිනැමීම ද සිදු විය. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා , සියලු පහසුකම් ලබාදීලා පාසල් පවතින තත්වයෙන් ඉහලට ගන්නවාට වඩා අඩු පහසුකම් යටතේ පාසල් ඉහළ සාධනියත්වයක් ලබාගැනීම වෙත ගමන් කිරීම විශිෂ්ට ලක්ෂණයක්. ඒ තත්වයට අපේ පාසල් පද්ධතියම ලගාවිය යුතුයි. සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සෑම පාසලක්ම මේ වෙනස වෙත ගමන් කිරීමට පදනම ගොඩනැගීම කාලින අවශ්‍යතාවයක්. තමන්ගේ සේවය නිවැරදිව කරනවා නම් ඔවුන්හට අගය කිරීම් වැඩිවෙනවා. දක්ෂතාවය මතයි මේ හැමදේම සිදු වෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවය තුළ මේ වෙනස ඇතිවිය යුතුයි. රාජ්‍ය සේවකයින්ගේ ඇගයීම් ක්‍රමවේදයන් ඒ අනුවම වෙනස්විය යුතුයි. අද සම්මානයට ලක්වන සියලු දෙනා තමන්ගේ කැපකිරීම සිදු කරලා තියෙන්නේ යහපත් සමාජයක් ගොඩනැගීම සදහා අනාගත දරු පරපුර වෙනුවෙන්. මේ යහපත් ආරම්භය දිගු ගමනකට පරිවර්තනය කරන්න දායක වෙන්න යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා පැවසිය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ “INGENIOUS - 2023” අධ්‍යාපනික ප්‍රදර්ශනය මහනුවර දොඩම්වලදී.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ “INGENIOUS - 2023” අධ්‍යාපනික ප්‍රදර්ශනය මහනුවර දොඩම්වලදී. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “INGENIOUS - 2023” (ඉන්ජිනියස්) අධ්‍යාපනික ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 29දා මහනුවර දොඩම්වල විශේෂ පාසලේදී ආරම්භ කෙරුණි. එම අවස්ථාවේ අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , අධ්‍යාපනයේ අවසාන අරමුණ යහපත් පුරවැසියකු සමාජ ගත කිරීමයි. දරුවන්හට ජිවිතාවබෝධය මෙන්ම ව්‍යවසායකත්ව දැනුමත් ලබාදෙමින් හොදම දේ දරුවන්හට ලබාදීම අද කාලින අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඉපදෙන හැම දරුවෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අනුකම්පාව නොව නිවැරදි මග පෙන්වීමයි අද අවශ්‍ය වන්නේ.ඒ සදහා හොදම ආදර්ශය මෙම පාසලෙන් නිවැරදිව සිදුවෙනවා. මේ කාර්යය වඩා සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට මැදිහත්වන බව ද ඒ මහතා මෙහිදී පැවසිය. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණ ඇතුලත් ලංකාවේ ප්‍රථම අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙය වන අතර , පාසලේ දරු දැරියන් ගේ නිර්මාණ හා දක්ෂතා මෙම ප්‍රදර්ශනයට එක් කර පැවතුනී. පුරාණ චාරිත්‍ර පිළිබදව හා නව තාක්ෂණික අංශයන් බද්ධකර ගනිමින් දැනුම ලබාගැනීමට හැකිවන ලෙස ප්‍රදර්ශන කුටි රැසක් මෙහි නිර්මාණය කොට පැවතුනී. 1912 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා සහිත පාසල් සංකල්පයේ මුලාරභය සිදුව ඇති අතර , ඒ අනුව 1962 වර්ෂයේ මාර්තු මස 08 වන දින මහනුවර දොඩම්වල විශේෂ පාසල ආරම්භ කොට ඇත. මෙම විශේෂ පාසල මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්ත පාලක මණ්ඩලයක් මගින් පරිපාලනය වීම ද විශේෂත්වයකි. මෙම පාසල තුළ දරුවන් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර, පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පාසල් විෂය නිර්දේශය හා යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. එසේම දරුවන්හට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙමින් ස්වයංව නැගිසිටිය හැකි පුදගලයෙකු බවට පත් කිරීමට පියවර ගෙන ඇත. දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එම දරුවන්ගේ ඉදිරි අනාගතය ශක්තිමත් කිරීම හා ඔවුනට රැකියා අවස්ථා උදා කරදී සමාජය තුල ශක්තිමත්ව නැගී සිටිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව ඇදුම් මැසිම ,රූපලාවන්‍ය ,බේකරි නිෂ්පාදන , කෘෂිකර්මාන්‍තය , වැනි ක්ෂේත්‍ර රැසකින් පුහුණු අවස්ථා ලබාදීම සිදු කෙරෙන අතර මෙම ප්‍රදර්ශනයේදී එම අංගයන් ද එක් කොට පැවතුනී. මෙම ප්‍රදර්ශනය පුරා දින තුනක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. (29,30,01) මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ , සෙංකඩගල විශේෂ පාසලේ විදුහල්පති කුමුදිනී අබේරුවන් යන මහත්ම මහත්මීන් ,පළාත් පරිවාස කොමසාරිස් , පළාත් ආයුර්වේද කොමසාරිස් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook