
මහනුවර ලෝක උරුම නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමට පාසල් සමාජ පිහිටුවේ.
මහනුවර ලෝක උරුම නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමට පාසල් සමාජ පිහිටුවේ.
ශ්‍රී ලංකාවේ පවතින එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරයේ පවතින ලෝක උරුමයන් ආරක්ෂා කර ගනිමින් මතුපරපුර වෙනුවෙන් දායාද කිරීම හා එහි පවතින වටිනාකම පිළිබදව දැනුම අනාගත පරපුරවෙත ලබාදීම වෙනුවෙන් මහනුවර මහා නගර සභාව මගින් ක්‍රියාත්මක ලෝක උරුම නගර පාසල් සමාජ පිහිටුවීමේ වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහා නගර සභා ශ්‍රවනාගාරයේදී 11 දින පැවැත්විණ.
මහනුවර නගරයේ පවතින සියලු පාසල්වල විදුහල්පතිවරුන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා, අද දේශයට - රටට ආදරය කරන දරු පිරිසක් ගොඩනගා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වෙලා. ඒ වෙනුවෙන් ඉතිහාසයේ අපේ රටේ පැවති වටිනාකම් පිළිබදව නිවැරදි දැනුම , නිවැරදි ලෙස දරුවන්හට ලබාදිය යුතුයි. අපේ රටේ පැවති බහුවිද සාර්ථකත්වයන් පිළිබදව අවබෝධයත් , යලි රට එවැනි තත්ත්වයක් වෙත ගමන්කිරීමට මාවතක් ගොඩනාගා ගැනීමත් අනාගත පරපුර වෙත පැවරෙන විශාල වගකීමක් බවට පත්වෙලා.අතීතය ඇත්තටම අපිට උරුමයක්. තාක්ෂනය ,අධ්‍යාපනය ,ආර්ථිකය ,වෛද්‍ය විද්‍යාව , ශාස්ත්‍රීය , මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර , ගොඩනැගිලි ආදී වූ සියලු කරුණු සාර්ථකත්වයෙන් අපේ රටේ පැවතියා. මේ සියලු හරයන් දරුවන්හට ලබාදීම වගකිවයුතු සැමගේ වගකීමක් යැයි ද පැවසිය. මහනුවර නගරයේ පවතින සියලු පාසල්වල පළමුව ලෝක උරුම නගර පාසල් සමාජ පිහිටුවීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර මිට සමගාමිව දරුවන්ගේ දැනුම , කුසලතාවයන් හා ආකල්පයන් වර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලෝක උරුම නගරය ආරක්ෂා කිරීම , ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම , අධ්‍යනය සදහා අවස්ථා උදා කිරීම ඇතුළු උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙළගැසීම පාසලෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. පළමුව දරුවන් දැනුවත් කරමින් සමාජ මෙහෙවරට යොමු කිරීමත් ,සමාජ ප්‍රජාව වගකීමෙන් මහනුවර නගරයේ පවතින ලෝක උරුමයන් ආරක්ෂාකර ගැනීමත් මගින් ලෝක උරුම නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම නව ව්‍යාපෘතියේ මුලික අපේක්ෂාව වේ. මහනුවර මහා නගර සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ , නාගරික ලේකම් ගීතානි ඒකනායක යන මහත්මීන්, විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.