සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පමණක් නොව, එහි ප්‍රතිලාභය ජනතාවට ලැබීමයි වැදගත්” – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා

“සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පමණක් නොව, එහි ප්‍රතිලාභය ජනතාවට ලැබීමයි වැදගත්” – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල සේවාවන් වඩාත් කාර්යක්ෂම හා ජනතාවට සමීප වන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත්, පළාත් පාලන ලේකම්වරුන්ගේ සංගමයේ නිලධාරීන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් (07) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, මහජනතාව තම අවශ්‍යතා ඉදිරිපත් කර ඒවා ඉටුකර දෙන ලෙස ඉල්ලීම් කරන තෙක් බලා නොසිට, රාජ්‍ය නිලධාරීන් ලෙසත් මහජනතාවට ඉතා සමීප ආයතන ලෙසත් පළාත් පාලන ආයතනවල නිලධාරීන් ජනතාවගේ අවශ්‍යතා කල්තියා හඳුනාගෙන ඒවා ඉටු කිරීමට අවධානය යොමු කළ යුතු බවයි.

විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එහි අවසාන ප්‍රතිඵලය මහජනතාව වෙත ළඟා කර දීම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

එහිදී එක් එක් පළාත් පාලන ආයතනවල මෙන්ම පොදුවේ පළාත් පාලන ආයතන ලේකම්වරුන් ලෙස රාජකාරි කටයුතු සිදු කිරීමේදී මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.

පළාත් පාලන ආයතනවල පවතින භෞතික හා මානව සම්පත් හිඟය පිළිබඳව මෙන්ම විශේෂයෙන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය රථවාහන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද ආණ්ඩුකාරවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම සඳහා ඉදිරියේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද, මධ්‍යම පළාත් සංවර්ධන කළමනාකරණ තොරතුරු පද්ධතිය (DMIS) භාවිතය සම්බන්ධයෙන්ද පළාත් පාලන ලේකම්වරුන් දැනුවත් කිරීමක් මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව DMIS වෙත අදාළ දත්ත නිවැරදිව ඇතුළත් කිරීම, එම දත්ත පදනම් කර ගනිමින් අවශ්‍ය වාර්තා ලබා ගැනීම මෙන්ම සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු පද්ධතිය හරහා ලබා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

මෙම දැනුවත් කිරීම මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) ඒ.ඒ. වීරකෝන් මහතා විසින් සිදු කරන ලදී. පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු වඩාත් විධිමත්ව සැලසුම් කිරීම, ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා DMIS පද්ධතිය ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා, මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) ඒ.ඒ. වීරකෝන් මහතා, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, ප්‍රධාන හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) නයනි තෙන්නකෝන් මෙනවිය, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් චතුර දිසානායක මහතා, පළාත් පාලන ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්.එස්. සිසිර කුමාර මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook