සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අනාගත නායකයන් බිහිකරන ‘Next Gen Leaders’ තවත් වැඩසටහනක් කොත්මලේදී

අනාගත නායකයන් බිහිකරන ‘Next Gen Leaders’ තවත් වැඩසටහනක් කොත්මලේදී

පාසල් දරුවන්ගේ නායකත්ව කුසලතා, සදාචාරාත්මක ගුණාංග සහ සමාජ වගකීම වර්ධනය කිරීමේ අරමුණින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ‘Next Gen Leaders’ නායකත්ව සංවර්ධන වැඩසටහන කොත්මලේ අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගනිමින් (23) රම්බොඩ කිංග්ස්වූඩ් හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අමාත්‍යාංශය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දහයක් නියෝජනය කරමින් සිසු දරුවෝ සිය දෙනෙක් සහභාගී වූහ. ඔවුන්ට ජාතික මට්ටමේ විශේෂ පුහුණුකරුවන් පිරිසක් යටතේ නායකත්ව සංවර්ධනයට අදාළ පුහුණුව ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

පාසල් දරුවන් තුළ මෘදු කුසලතා (Soft Skills), ධනාත්මක ආකල්ප, සදාචාරාත්මක වටිනාකම් සහ සමාජ වගකීම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම අනාගතයේදී රටේ සංවර්ධනයට සක්‍රීයව දායක විය හැකි, වගකීම් සහගත හා ආදර්ශවත් නායක පරපුරක් බිහිකිරීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කිරීම ද මෙහි අපේක්ෂාව වේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් වන ආචාරධර්ම ක්ෂේත්‍රය ඔස්සේ සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම අරමුණු කරගනිමින් පාසල් දරුවන් ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, දැනුමෙන් පමණක් නොව යහපත් ආකල්ප, විනය, අන්‍යයන්ට ගරු කිරීම සහ පොදු යහපත වෙනුවෙන් කැපවීම වැනි ගුණාංගවලින් ද පිරිපුන් අනාගත පරපුරක් ගොඩනැගීමට මෙවැනි වැඩසටහන් වැදගත් වේ.

වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) චන්දිමා දසනායක මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීහු, කොත්මලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න මහතා, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරිනියක වන අධ්‍යාපන අධ්‍යක්ෂ අජන්තා වෙලගෙදර මහත්මිය ඇතුළු නිලධාරීහු, කිංග්ස්වූඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මාධව මාරසිංහ මහතා, විදුහල්පතිවරු, ගුරුවරු සහ පුහුණුව සඳහා තෝරාගත් පාසල් සිසු දරු දැරියෝ එක්ව සිටියහ.

දවස පුරා පැවැති මෙම පුහුණු වැඩසටහන, පාසල් මට්ටමේ සිටම යහපත් නායකත්වයක් සහ සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන තවත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook