
රිකිල්ලගස්කඩ රෝහලේ ඔක්සිජන් නිෂ්පාදනාගාරය හා නව සායන සංකීර්ණය විවෘත කෙරේ.
රිකිල්ලගස්කඩ රෝහලේ ඔක්සිජන් නිෂ්පාදනාගාරය හා නව සායන සංකීර්ණය විවෘත කෙරේ.
සියලු රාජ්‍ය නිලධාරීන් නීතිගරුකව හා කාර්යක්ෂමව මහජන සේවයෙහි නිරත වීමේදී යහපත් ආකල්පමය වෙනසක් සාක්ෂාත් කර ගත යුතු බවද, වර්තමාන දුෂ්කර කාල වකවානුව ඉක්මවා යාමට එය නියත වශයෙන්ම මහෝපකාරී වන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. ‘රටට පෙර තමා’ යන පසුගාමී ආකල්පය පසෙක ලා ‘තමාට පෙර රට’ යන දැක්ම ඉදිරියට ගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහල් පරිශ්‍රයේ ඉදි කළ ඔක්සිජන් නිෂ්පාදනාගාරය හා රෝහලේ නව සායන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය (15) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ නිදහස් අධ්‍යාපනයෙන් පෙරට ආ වෛද්‍යවරුන් රට හැර යාම බැහැර කළ නො හැකි ගැටලුවක් වන බවත්, ‘තමාට පෙර රට ‘ යන දැක්ම ඔස්සේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව අර්ථවත් කිරීමට වෛද්‍යවරුන්ගේ දායකත්වය අතිශයින්ම වැදගත් බවත් ය. එසේම නව තාක්ෂණය භාවිත කරමින් ප්‍රදේශයේ ඔක්සිජන් අවශ්‍යතාව පිරිමසාලීම වෙනුවෙන් ඔක්සිජන් නිෂ්පාදනාගාරයක් ඉදි කරලීමට රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නිශ්ශංක විජේවර්ධන මහතා ගත් වෙහෙස ද ඔහුගේ ඇගැයීමට ලක් විය.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී විදේශීය සම්බන්ධතා සහිත ව රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ නව විශ්ව විද්‍යාලයක් වෛද්‍ය පීඨයක් ද සහිත ව ආරම්භ කිරීමට පියවර ගන්නා බව යි. එබන්දකට සුදුසු පාරිසරික සාධක මෙහි පවත්නා බව ද ඔහු සඳහන් කළේ ය. විදේශීය සිසුන් බඳවා ගැනීමේ මෙහි මූලික අරමුණක් වන බවත් , එහිදී රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහල ශික්ෂණ රෝහලක් සේ ඊට සම්බන්ධ විය හැකි බවත් ඔහු පවසා සිටියේ ය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ඔක්සිජන් ජනන යන්ත්‍රයේ හා ඔක්සිජන් නිෂ්පාදනයේ වැදගත්කම පිළිබඳ කරුණු පැහැදිලි කළේ ය.
ලෝක බැංකු ආධාර සහිතව විශාල මුදලක් වැය කරමින් සම්පූර්ණ කළ මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඔක්සිජන් සිලින්ඩර 75 -100 පමණ නිෂ්පාදනය කළ හැකිවේ. වලපනේ, නිල්දණ්ඩාහින්න ,උඩ පුස්සැල්ලාව ඇතුළු අවට රෝහල් ගණනාවකම ඔක්සිජන් අවශ්‍යතාව ඉටු කර දීමට මෙ මඟින් අවස්ථාව ලැබෙනු ඇත. කොවිඩ් වෛරස බලපෑම බඳු සෞඛ්‍යමය අර්බුද හමුවේ මෙවැන්නක ඇති වැදගත්කම අපමණ ය. මෙය මධ්‍යම පළාතේ පළමු ඔක්සිජන් නිෂ්පාදනාගාරය ද වේ.
රෝහලේ වෛද්‍ය අධිකාරී , නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා කියා සිටියේ රෝහලේ ප්‍රතිකාර සේවා විධිමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය නව ක්‍රියාමාර්ග රැසක්ම හඳුන්වා දීමට පසුගිය සමයේ තමා උත්සුක වූ බව යි. විශේෂයෙන්ම රෝගීන් හා ප්‍රතිකාර සේවා හඳුනා ගත හැකි ඩිජිටල් ක්‍රමවේද හා නව පරිපාලන ක්‍රමවේද සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් ඔහු සඳහන් කළේ ය. රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහල ප්‍රදේශයේ ප්‍රමුඛතම රෝහලක් බවට පත්කරලීමේ සිය අරමුණ සමඟ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එක්ව සිටින බවත් අනතුරුව ඔහු කියා සිටියේ ය.
අභිනවයෙන් විවෘත කෙරුණු සායන සංකීර්ණය හේතුවෙන් වැඩි රෝගීන් පිරිසකට පමාවකින් තොරව ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබේ. රෝගීන්ගේ පරිහරණයට අවශ්‍ය මූලික පහසුකම් ආදියෙන් මෙය සමන්විත ය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවනට ආණ්ඩුකාර මහජන සම්බන්ධිකරණ ලේකම් එස්.බී. රත්නායක මහතා ද, උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ මහත්මිය ද , වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.