
දොළුව මහජන පුස්තකාලය ස්වයංක්‍රියකරණය කෙරේ.
දොළුව මහජන පුස්තකාලය ස්වයංක්‍රියකරණය කෙරේ.
දැනුම ලෝකය ජය ගනී යන්න අතීතයට වලංගු වුව ද, වර්තමානයට වලංගු වන්නේ තාක්ෂණය ලෝකය ජය ගනී ය යන්න බවත්, වර්තමානයේදී දැනුම සාක්ෂාත් කර ගත හැක්කේ තාක්ෂණය ඔස්සේ බවත්, ඉන් හැඟවෙන්නේ තාක්ෂණය නොමැතිව කිසිවක් කළ නො හැකි බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක මහජන පුස්තකාල ස්වයංක්‍රියකරණ ව්‍යාපෘතියට අදාළ ව උඩපළාත ප්‍රාදේශීය සභාවට අයත් දොළුව මහජන පුස්තකාලය ස්වයංක්‍රියකරණය ඇරඹීම නිමිති කොට ගෙන ඊයේ (10) පෙරවරුවේ පුස්තකාල පරිශ්‍රයේ පැවති විශේෂ වැඩසටහනක දී යි පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ .
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මේ නව වැඩ පිළිවෙල යටතේ පුස්තකාලය සිය නිවසට ම රැගෙන යන්නට පාඨකයන් වෙත උදාවන අවස්තාව ඥානාන්විතව ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය වන බව යි.
ආණ්ඩුකාර ගමගේ මහතා විසින් නිල වශයෙන් පුස්තකාලයේ ස්වයංක්‍රියකරණ කාර්යය ආරම්භ කරන ලදී. පුස්තකාලය විමර්ශන, බාහිර හා ළමා ඇතුළු අංශ කිහිපයකින් ම සමන්විත ය. දැනට පුස්තකාලය සතු ග්‍රන්ථ සංඛ්‍යාව එකොළොස් දහසකට අධික ය. ස්වයංක්‍රියකරණ කාර්යය යටතේ සියලු සාමාජිකයනට ග්‍රන්ථ පරිශීලනය සඳහා විද්‍යුත් කාඩ් පතක් ලබා දීමට පියවර ගැනේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙනුවෙන් ගවස්කාර් සුබ්‍රමනියම් මහතා ද, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් .සුනිල් මහතා ද පුස්තකාල ස්වයංක්‍රියකරණයේ වැදගත්කම පැහැදිලි කළහ.
ප්‍රදේශයේ පාසල් කිහිපයකම සිසු සිසුවියන් පිරිසක් ද වැඩසටහනට එක්ව සිටියහ. ගම්පොළ සහිරා ජාතික පාසලේ ප්‍රියන්ත පතිරාජ මහතා ඔවුන් අමතා සාහිත්‍යයේ අගය විවරණය කෙරෙන දේශනයක් පැවැත්වී ය.
උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ජී. ගුණසේන මහතා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ සභා ලේකම් සුභාෂිණී සුබසිංහ මහත්මිය හා පුස්තකාලයාධිපතිනි අනුෂා හේරත් මහත්මිය සමඟ පුස්තකාල කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබිණි.
හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.බී ඉලංගන්තිලක මහතා ද, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලුකා බුලත්ගේ මහත්මිය ද , ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.