සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර බාලදක්ෂ කඳවුර අප්‍රියෙල් මස දී.

මහනුවර බාලදක්ෂ කඳවුර අප්‍රියෙල් මස දී.

මහනුවර බාලදක්ෂ කඳවුර අප්‍රියෙල් මස දී. මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ මෙහෙයවීමෙන් එළැඹෙන අප්‍රියෙල් මස 5 දින සිට 8 දින දක්වා ගම්පොළ වික්‍රමබාහු විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ කඳවුර - 15 වන කන්බරිය සංවිධානය කිරීමේ දී සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳ ව අදාළ සියලු පාර්ශ්ව සමඟ කළ සාකච්ඡාවක් ඊයේ (28) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර හා මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සභාපති නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ කඳවුර පැවැත්වෙන්නේ දෙවසරකට පසුව ය. කොවිඩ් වෛරස ව්‍යාප්තිය මෙයට බලපෑ වග ද කියැවිණි. බාලදක්ෂයන් දහසකට අධික සංඛ්‍යාවක් කඳවුරු බැඳීමට නියමිත ය. ඒ අතර තුර ද කඳවුරු භූමියට බාලදක්ෂයන් කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත. කඳවුරු සමය උත්සව අවස්ථා සතරකින් සමන්විත වේ. සමාරම්භක උළෙල, පෝතක දිනය, සිඟිති දිනය හා සමාප්ති උළෙල වශයෙනි. විදුලිය, ජලය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම සංවිධායකයන්ගේ අපේක්ෂාව යි. ඒ සඳහා ගම්පොළ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය, ලංකා විදුලි බල මණ්ඩලය, ගම්පොළ නගර සභාව, උඩපළාත ප්‍රාදේශීය සභාව, ගම්පොළ පොලිස් ස්ථානය, ගම්පොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගම්පොළ මූලික රෝහල වෙතින් සහය ලබා ගැනීමට තීරණය විය. පාසල් පරිශ්‍රය තුළ පලතුරු පැළ සියයක් රෝපණය කිරීම ද සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ සඳහා උපරිම සහය ලබා දීමට තමා උත්සුක වන බව ය. ලොව පිළිගත් ස්වෙච්ඡා සංවිධානයක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දී සිදුකරන කාර්යභාරය සම්බන්ධයෙන් තමා බෙහෙවින් සතුටු වන බව පැවසූ ගමගේ මහතා අත්දැකීම් සපිරි, ඉහළ සමාජ අවබෝධයකින් යුතු ,නීතිගරුක හා විනයානුකූල තරුණ පරපුරක් අනාගතය වෙනුවෙන් සූදානම් කරලීමට මෙයින් ලැබෙන පිටිවහල අගය කළ යුතු බව අවධාරණය කළේ ය. සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර, උඩපළාත ප්‍රාදේශීය ලේකම් ටී.එන්.තෙන්නකෝන්, ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, යන මහත්ම මහත්මීන් සමඟ දිසා බාලදක්ෂ කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook