
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් උත්සවය සම්බන්ධයෙන් වූ ප්‍රගතිය විමසා බැලීමේ.
එළැඹෙන 16 වන දා පෙරවරුවේ යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිත මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රය නිමිති කොට ගෙන ශ්‍රී නාථ මහා විහාරස්ථාන පරිශ්‍රයේ සංවිධානය කෙරෙන හිසතෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් උත්සවය සම්බන්ධයෙන් වූ ප්‍රගතිය විමසා බැලීමේ හා සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පසුගිය (10) පෙරවරුවේ පූජ්‍ය ඇටිපොල මහින්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මීට ප්‍රථම පැවැත්වූ සාකච්ඡාවේ දී ගත් තීරණ ක්‍රියාත්මක වූ හා ක්‍රියාත්මක වන ආකාර මෙහිදී අවධානයට ලක් කෙරිණි.
පළාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය එච්.එම්.ජේ.බී. හේරත් මහතා මේ පිළිබඳ කරුණු විස්තර සහිත ව ඉදිරිපත් කළේ ය. උත්සවය සමබන්ධයෙන් විශේෂ ගැටලුවක් මෙතෙක් මතු වී නොමැති බවත්, චාම් හා ගාම්හීර වැඩසටහනක් සේ මෙය සංවිධානය කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.
ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ බණ්ඩාරනායක මහතා ද සංවිධාන කටයුතු පිළිබඳ අදහස් දැක්වී ය.
පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ මහත්මිය කියා සිටියේ අදාළ සියලු පාර්ශව ඉතා වගකීමෙන් යුතුව මෙහි සාර්ථකත්වය උදෙසා කටයුතු කළ යුතු බව යි.
සාකච්ඡාවේ මුලසුන දරමින් පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය සඳහන් කළේ පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වන වග ය. එතුමා නිරන්තරයෙන් මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විමසා බලන බව ද ඇය කියා සිටියා ය. උත්සවයට ප්‍රථම පවත්වන අවසාන සාකච්ඡාව මෙය වන බව සිහිපත් කළ ඇය සියලු පාර්ශව මෙහිලා දැරිය යුතු වගකීම අවධාරණය කළා ය.