සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 කොහොඹිලිවෙල 'සෙනෙහස ' පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා උද්‍යානය විවෘත කෙරේ.

කොහොඹිලිවෙල 'සෙනෙහස ' පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා උද්‍යානය විවෘත කෙරේ.

මාතලේ , කොහොඹිලිවෙල 'සෙනෙහස ' පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා උද්‍යානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය - මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා විසින් පසුගියදා විවෘත කොට එහි වෙසෙන දරුවන් වෙත භාර දෙන ලදී. මේ සඳහා අවශ්‍ය උපකරණ ලබා දී ඇත්තේ මාතලේ සෙන්ට්‍රල් රොටරි සමාජය යි.ඉදි කිරීම් කටයුතු මෙම ආයතනය පවත්වාගෙන යන මාතලේ තරුණ බෞද්ධ සමිතියේ දායකත්වයෙන් සිදු කෙරිණි. මාතලේ මහා නගර සහාව ද මේ වෙනුවෙන් සහය ලබා දී තිබේ. 'සෙනෙහස' පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කොට ඇත්තේ වර්ෂ 1954 දී ය. දරුවන් විසි දෙනෙකු සඳහා මූලික පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයන්නට මෙහි පාලනාධිකාරිය කටයුතු කරයි. මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම මෙහි කටයුතු හා පැවැත්ම අධීක්ෂණයට පියවර ගනී. ළමා උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවේ මූලාසනය දැරුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක හා කොටුවේගෙදර ශ්‍රී විද්‍යාරතන පිරිවෙන් විහාරාධිපති මගලකොටුවේ විමලධම්ම නා හිමියන් ය. ආණ්ඩුකාර ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් මෙබඳු ළමා සංවර්ධන මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම ඉහළ සමාජ සත්කාර්යයක් බව පැවසී ය. රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ද ජන හමුව ඇමතී ය. මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පරිවාස කොමසාරිස් සී. ගුණරත්න යන මහත්මීහු ද, මාතලේ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, මාතලේ සෙන්ට්‍රල් රොටරි සමාජයේ ප්‍රධානීහු ද, මාතලේ ප්‍රදේශයේ විද්වත් පිරිසක් ද සහභාගී වී සිටියහ. මාතලේ තරුණ බෞද්ධ සමිතියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වෙත උපහාර තිළිණ පිරිනමා ගෞරවය දැක්වීමේ අවස්ථාවක් ද සංවිධානය කොට තිබිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook