
අජිත් ප්‍රේමසිංහ මහතා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ධුරයට.
අජිත් ප්‍රේමසිංහ මහතා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ධුරයට.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ධුරයට අභිනවයෙන් පත් කළ ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයකු වන අජිත් ප්‍රේමසිංහ මහතා අද දින (19 ) පෙරවරුවේ සුබ මොහොතින් පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.
කැළණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය වාණිජ විෂය ධාරාවෙන් ලබා ගෙන ඇති ප්‍රේමසිංහ මහතා එම විශ්වවිද්‍යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගෙන ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1994 දී ප්‍රේමසිංහ මහතා රාජ්‍ය සේවයට එක්වන්නේ තැපැල් සේවා නිලධාරියෙකු වශයෙනි. අනතුරුව ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්- සැපයුම් නිලධාරි තනතුරේ සේවයේ නිරත වී ඇත.1998 වර්ෂයේදී යි ප්‍රේමසිංහ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන්නේ. ඔහු පළමු කොටම තිස්සමහාරාම සහකාර ඉඩම් කොමසාරිස් ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කරයි. අනතුරුව මහියංගනය සහකාර ඉඩම් කොමසාරිස් තනතුර හෙබවූ ඒ මහතා වර්ෂ 2000 - 2006 දක්වා උඩදුම්බර හා පූජාපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළේ ය. ඉන් පසුව ලග්ගල, යටවත්ත, පන්විල හා පාතදුම්බර යන බල ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ ඔහු පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කළේ ය. පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ඒ මහතා පත් වන්නේ ඉනික්බිතිව ය.
මධ්‍යම පළාත් සභා සේවයට ප්‍රේමසිංහ මහතා එක්වන්නේ එහි මාර්ග සංවර්ධන , ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙනි. පසුව ඔහු මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරිණ.
පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය දරමින් පළාතේ පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල හා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරලීමට ඔහු දැක්වූ උනන්දුව අපමණ ය. මේ අතරවාරයේ අමාත්‍යාංශයේ සෙසු විෂය ක්ෂේත්‍ර විධිමත්ව හා කාර්යක්ෂම ව සක්‍රිය කරලීමට ද ඔහු මහත් සේ වෙහෙස වී කටයුතු කළේ ය. ප්‍රේමසිංහ මහතා පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ හා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.