
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 103 වන සංවත්සර මහා සභා රැස්වීම.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 103 වන සංවත්සර මහා සභා රැස්වීම දිසා ශාඛාවේ සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත් විණ.
එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , අපේ දරුවන්ට විනයක් ,හික්මීමක් ඇතිව ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමේදී බාලදක්ෂ ව්‍යාපාරයට වැඩි වටිනාකමක් හිමිවන බවත්, අද රටේ පවතින විවිධ සමාජ ව්‍යසනයන් ජය ගැනීමට හැකි පරපුරක් බිහිකිරීමේ සමාජ වගකීම ඉටුකිරීමට බාලදක්ෂ ව්‍යාපාරයට හැකියාව පවතින බවත් පැවසිය.
මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ වාර්ෂික ඇගයීම් තරගාවලියේ වැඩිම රන්තරු ලාභී පෝතක බාලදක්ෂ කණ්ඩායම් අතරින් දෙවන ස්ථානය හිමිකරගත් මහනුවර ධර්මරාජ විදුහලත්, ශ්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ වාර්ෂික ඇගයීම් තරගාවලියේ වැඩිම රන්තරු ලාභී බාලදක්ෂ කණ්ඩායම් අතරින් දෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයත් හිමිකරගෙන ඇති අතර එහි සහතික පත්‍ර ප්‍රධානය කිරීම හා නව නිලධාරින් පත්කර ගැනීම මෙහිදී සිදුවිය.මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න , මහනුවර දිසා කොමසාරිස් කපිල ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ