සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 පළාත් සභා  සංවර්ධන නිලධාරීන් ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම්වත් කෙරෙන සිව් දින න්‍යායික හා ප්‍රායෝගික පාඨමාලාවක්.

පළාත් සභා සංවර්ධන නිලධාරීන් ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම්වත් කෙරෙන සිව් දින න්‍යායික හා ප්‍රායෝගික පාඨමාලාවක්.

රාජ්‍ය නිලධාරීන් සිය වගකීම හුදු රැකියාවට පමණක්ම සීමා නො කළ යුතු බව ද , එය වත්මන් ජාතික අර්බුද ජය ගැනීමේ සේවාවක් සේ වටහා ගත යුතු බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. ඇතැම් ඉහළ පෙළේ රාජ්‍ය නිලධරයන් ඇතුළු වෘත්තිකයන් වැඩි ආදායම් සොයා විදෙස් ගත වීමේ තත්ත්වය කනගාටුදායක වන බවත්, ඊට යොමු නො වන රාජ්‍ය නිලධරයන් අසීරුතා මධ්‍යයේ හෝ මෙරට රැඳී සිටිමින් දක්වන දේශමාමකත්වය අගය කළ යුතු බවත් ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ඉකුත් සති අන්තයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කළමනාකරණ පීඨයේදී ආරම්භ වූ පළාත් සභා සංවර්ධන නිලධාරීන් ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම්වත් කෙරෙන සිව් දින න්‍යායික හා ප්‍රායෝගික පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.පාඨමාලාව සෙනසුරාදා දින සතරක පැවැත්වෙනු ඇත. කළමනාකරණ පීඨ ශ්‍රවණාගාරයේ දී සංවිධානය කළ මේ සමාරම්භක අවස්ථාවට උප කුලපති මහාචාර්ය එම්.ඩී.ලමාවංශ මහතා හා කළමනාකරණ පීඨාධිපති මහාචාර්ය අතුල ඒකනායක මහතා ඇතුළු විශ්ව විද්‍යාලයීය ආචාර්යවරු පිරිසක් ද සහභාගී වී සිටියහ. පාඨමාලාව, කළමනාකරණ පීඨයට අනුබද්ධ 'ස්කිල්ස් ෆොර් ලයිෆ්' ආයතනය විසින් මෙහෙයවනු ලබයි. ඊට අවශ්‍ය සහය , අනුග්‍රහය හා මඟ පෙන්වීම ලබා දෙමින් සම්බන්ධිකරණ කාර්යයෙහි නිරත වන්නේ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය යි. එහි සභාපති නීතීඥ ජානක සකලසූරිය මහතා ද සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ අවස්ථාවට සහභාගී වී සිටියේ ය. පාඨමාලාවේ සම්පත් දායකයන් වශයෙන් රාජ්‍ය ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුමක් සහිත ආචාර්යවරු පිරිසක් සම්බන්ධ වනු ඇත. න්‍යායික දැනුම්වත් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍රගත ප්‍රයෝගික අත්දැකීම් ද සංවිධානය කෙරේ. මෙබඳු පාඨමාලා වෙතින් පළාත් සභා නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වඩාත් ඔප් නැංවෙන බවත්, එය පළාත් සභා මහජන සේවා විධිමත් කරලීමට හා කාර්යක්ෂම කරලීමට ඉවහල් වන බවත් මේ අවස්ථාවට එක්වූ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා පෙන්වා දුන්හ. මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක්ම නියෝජනය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙම පාඨමාලාව හදාරති.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook