
පුරන් අප්පු විරුවාගේ පිළිරුව නිරාවරණය කරමින් 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී සටනේ 175 වන වසර සැමරේ .
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවා ගැනීම පිණිස සටන් වැදුණු සියලු දෙනාට ම අපගේ ගෞරවය නො මඳව හිමි විය යුතු බවත්, හිරු නො බසින අධිරාජ්‍ය යනුවෙන් හැඳින්වූ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය හිරු බැස යාමේ අධිරාජ්‍යයක් බවට පත් කරලීම සඳහා සුවිශේෂ ප්‍රයත්නයක නිරත වූ පුරන් අප්පු හා ඔහු විසින් නායකත්වය ලබා දුන් සුප්‍රකට 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී සටන මේ මොහොතේ දී සාඩම්බරයෙන් සිහිපත් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවස යි. වර්ෂ 1815 උඩරට ගිවිසුම ප්‍රකාර ව බ්‍රිතාන්‍ය පාලකයන් ක්‍රියා නො කළ බව ද, ඔවුනගේ පිළිවෙත් හේතුවෙන් සිදුවූ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අර්බුද අතිමහත් බව ද, වත්මන් ළමා පරපුර මේ කාරණා සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බව ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා තවදුරටත් කියා සිටියේ ය. බ්‍රිතාන්‍යයන්ට පෙරාතුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ලන්දේසින් යටතේ සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් මෑතදී නෙදර්ලන්ත නායකත්වය සමාව අයැද සිටි වග අවධාරණය කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා බ්‍රිතාන්‍ය නීති යටතේ කන්ද උඩරට ජනතාවට අහිමි කළ ඉඩම් යළි ඔවුන් වෙත ලබා දීමේ අවශ්‍යතාව ද සඳහන් කළේ ය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු යම් ඵලදායී කාර්යයක්ට භාවිත නො කරන ඉඩම් කන්ද උඩරට කෘෂිකාර්මික සශ්‍රීකත්වය වෙනුවෙන් ලබා දීමේ වැදගත්කමත් අනතුරුව ඔහු පෙන්වා දුන්නේ ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ ඉකුත් දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේ දී පැවැති 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී ජනතා සටනට වසර 175ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. වැඩසටහනට පෙරාතුව මාතලේ වී.ටී .නානායක්කාර උද්‍යානයේ අභිනවයෙන් ඉදි කළ පුරන් අප්පු විරුවාගේ ප්‍රතිමාව නිරාවරණය කිරීම ද ඔහු අතින් සිදු කෙරිණි.
වැඩසටහනට සමගාමීව 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී සටන විෂය කර ගත් විමර්ශන ග්‍රන්ථයක් එළි දැක්වීමට ද සංවිධායකයෝ පියවර ගත්හ.
විචිත්‍රාංග කිහිපයකින්ම වැඩසටහන සමන්විත විය.
විශේෂ ආරාධිතයකු වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සහභාගී වී සිටියේ ය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ , යදාමිනි ගුණවර්ධන යන මහත්වරු ද, තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු මාතලේ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, ප්‍රදේශවාසීහු ද වැඩසටහනට සහභාගී වූහ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ මහා නගර සභාව හා වීර කැප්පෙටිපොල ජාතික පදනම වැඩසටහන සංවිධානය කොට තිබිණි.