සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සොයයි.

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සොයයි.

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සොයයි. මහනුවර නගරය තුළ රථ වාහන ධාවනය ක්‍රමවත් නොමැති බවත්, එය රථ වාහන තදබදයකට හේතු වී ඇති බවත්, සංවර්ධන යෝජනා ක්‍රම අනපේක්ෂිතව පමා වීම ඊට එක් හේතුවක් බවත්, ශ්‍රී දළඳා මාළිගයේ පිහිටීම හා දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යනාදී කරුණු සලකා බලා සුදුසු රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාවේ යෙදවීම අත්‍යවශ්‍ය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ ඊට අදාළ එක පිළියමක් වශයෙන් මහනුවර රජපිහිල්ල මාවතේ බස්රථ ගාල් කිරීමේ ස්ථානය එම භුමිය අයත් නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත පැවරීමට අවශ්‍ය පියවර ගත යුතු බව අවධාරණය කරමිනි. විශේෂයෙන්ම මහනුවර නගරය තුළ රථවාහන තදබදය උග්‍ර කිරීමට බස් රථ ධාවනය බලපාන බව ද ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ පැවසුවේ මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුම් සේවීමේ අපේක්ෂාවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ඉල්ලීම පරිදි කැඳවන ලද විශේෂ සාකච්ඡාවක මුලසුන දරමිනි. පසුගිය දා (19) මහනුවර , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මේ සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ වීරසිංහ හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරු ද, මහනුවර පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විසින් මෙම ගැටලුවේ පරිමාව හා විසඳුම් සපයා ගැනීමේ ආකාර සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කළේ ය. මහනුවර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කුමාර කෝට්ටගේ මහතා ගැටලුවට අදාළ ඡායාරූපමය වාර්තාවක් ඉදිරිපත් කළේ ය. මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයා ද අදහස් දැක්වී ය. සාකච්ඡාව අවසන ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව මුළුමනින්ම විසඳාගන්නා තෙක් වඩා පහසුවෙන් හා කඩිනමින් සපයා ගත හැකි කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බව යි. එකිනෙකාට චෝදනා එල්ල කරමින් නො සිට අදාළ සියලු පාර්ශ්ව සාමූහිකව කටයුතු කළ යුතු බව ද අනතුරුව ඔහු අවධාරණය කළේ ය. මසකට වරක් මේ පිළිබඳ ප්‍රගතිය විමසන සාකච්ඡාවක් කැඳවිය යුතු බව කියා සිටි ඔහු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඒ ඒ ආයතන දැක්වූ එකඟතා සක්‍රිය කළ යුතු බව ද සඳහන් කළේ ය. එනම් දිවා කාලයේ දී මහනුවර හරහා ඌව,නැඟෙනහිර හා බස්නාහිර පළාත් දක්වා ධාවනය කරන මගී බස් රථ අරුප්පොල ධර්මාශෝක මාවත කරා යොමු කරලීම, නගරයේ ආලෝක සංඥා පුවරු අසල හා මංසන්ධි අසල අනවසරයෙන් පවත්වාගෙන යනු ලබන පළතුරු හා විවිධ ආහාර ද්‍රව්‍ය අලෙවි කුටි ඉවත් කිරීම, රථ වාහන තදබදය වැඩිපුර වාර්තා වන ස්ථාන වල ධාවන මං තීරු පුළුල් කිරීම , සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව යාචකයන් නගරයෙන් බැහැර කිරීමට පියවර ගැනීම යන එකඟතා ය. මෙහිදී මහනුවර පොලීසිය හා මහනුවර මහා නගර සභාවේ හදිසි වැටලීම් අංශය එක්ව ක්‍රියා කළ යුතු බවට ද එකඟතා පළ විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook