සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු  රැස්වීම, ගත්  තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කෙරේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කෙරේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කෙරේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පසුගිය කමිටු රැස්වීමේ දී ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවර රැස්වීමට ඉදිරිපත් කළ ලිපි, ගැටලු හා අදහස් කමිටුව විසින් විමසා බලන ලදී. මේ අනුව මුරුතලාව- පේරාදෙණිය මාර්ගය සංවර්ධනය, ගන්නෝරුව මාර්ගයේ යුධ හමුදා කඳවුර ඉදිරිපිට අනවසර ඉදිකිරීම්, මහනුවර ජාතික රෝහල හා බැඳුණු ඉඩම් ගැටලු, උඩුනුවර ප්‍රදේශයේ මාර්ග පිළිසකර කිරීම්, කුණ්ඩසාලේ - වරාපිටිය මාර්ග තදබදයට විකල්ප මාර්ග හඳුන්වා දීම, ගෙලිඔය නගරයේ අධිබල විදුලි රැහැන් හා සම්බන්ධ කණු ඉවත් කිරීම යනාදී ගැටලු සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන්ගේ කරුණු දැක්වීම් ද සහිත ව සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කමිටුව එකඟ විය. මහනුවර නගරයේ වෙළෙඳ සංකීර්ණ ආශ්‍රිත විවිධ ගැටලු විසඳාලීම සම්බන්ධයෙන් නාගරික කොමසරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් හා වෙළෙඳ සංගම්වල ද සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ද කමිටුව විසින් තීරණය කරන ලදී. එසේම අරමුදල් සැපයීමේ හැකියාව පවතී නම් අම්පිටිය තලපියන්නාව -ගුඩ්හෝප් මාර්ගය සංවර්ධනය කිරීමට ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව වෙත අවසර ලබා දීම ද කමිටුවේ තීරණයක් විය. මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විෂය වූ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වූ කරුණු අනුව රාජ්‍ය ආයතනවලට අදාළ වරිපනම් ගෙවීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට ද, අනවසර ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය නීතිමය තීරණ කරා එළඹීම පිණිස නාගරික සංවර්ධන අධිකාරියේ පනත සංශෝධනය කළ යුතු බවට ද කමිටුව විසින් තීරණය කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය , ඩෙංගු රෝග ව්‍යාප්තිය හා එය මර්දනය පිණිස ගත යුතු ක්‍රියාමාර්ග, බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් සූර්ය පැනල උපයෝගී කර ගැනීමේ හැකියාව පිළිබඳව ද ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් කරුණු විමසා බැලිනි. මීළඟ කමිටු රැස්වීම එළඹෙන සැප්තැම්බර් මස 26 වන දා පැවැත්වෙනු ඇත. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, නීතීඥ උදයන කිරිදිගොඩ, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර,වේළු කුමාර් යන මහත්වරු සමඟ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රමුඛ පළාත් සභා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් වරු හා සෙසු ප්‍රධානීහු ද, අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීහු ද කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook