
පළාතේ තෝරා ගත් පාසල් සඳහා පොත් කට්ටල පිරිනැමේ.
පළාතේ තෝරා ගත් පාසල් සඳහා පොත් කට්ටල පිරිනැමේ
නියමිත වෙලාවට සිය කටයුතු ඉටු කරලීමෙන් සිසු දරුවනට ආදර්ශයක් ලබා දීම ගුරුභවතුන්ගේ වගකීමක් බව ද, ජපාන පාසල් අධ්‍යාපනය ඉහළ තලයක පවත්වා ගැනීම මෙයට දිය හැකි හොඳම උදාහරණයක් බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. නිදහස් අධ්‍යාපන පිළිවෙතේ ප්‍රතිඵල අදත් අප භුක්ති විඳින බව සිහිපත් කළ ඒ මහතා එය අවභාවිත කිරීම කිසිසේත්ම නො කළ යුත්තක් ය යන්න ද පෙන්වා දුන්නේ ය. විභාග සමත්වීම මෙන්ම සාහිත්‍ය ඇසුර ද සිසුන්ගේ පෞරුෂ වර්ධනයට අතිශය වැදගත් වන බව අනතුරුව ඔහු සඳහන් කළේ වර්තමානයේ ඇතැම් වෘත්තිකයන් සිය උරුමය බැහැර කොට විදෙස් ගත වීමේ නැඹුරුව කනගාටුදායක වූවක් බව අවධාරණය කරමිනි.
ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් දැක්වූයේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද දින (22) සංවිධානය කොට තිබු පළාතේ තෝරා ගත් පාසල් 27 ක පුස්තකාල සඳහා පොත් කට්ටල පිරිනැමීමේ සුවිශේෂ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ආසියානු සංවර්ධන පදනම විසින් ලබා දෙනු ලැබූ පොත් 2190ක් මෙසේ බෙදා දීමට පියවර ගැනිණි. එහි මූල්‍යමය වටිනාකම රු. 810,445.60කි.උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන දුෂ්කර හා අධ්‍යාපනික පොත පත්වල අවශ්‍යතාව සහිත පාසල් අතරින් මෙම පාසල් 27 තෝරා ගෙන තිබිණි. සිංහල මාධ්‍ය පාසල් 22කි. දමිළ මාධ්‍ය පාසල් 05කි. උසස් පෙළ සියලු විෂය ක්ෂේත්‍ර ආවරණය වන පොත පතට අමතරව සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා ත්‍රයෙන්ම රචිත ළමා කතන්දර පොත් ද පිරිනමනු ලැබී ය. මේ අවස්ථාවට මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති නීතිවේදී නිමල් ද සේරම් මහතා හා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය ද, පොත් කට්ටල පිරිනැමුණු පාසල්වල විදුහල්පතිවරු හා ගුරු භවතුන් ද සහභාගී වී සිටියහ.වැඩසටහන සංවිධානය කොට තිබුණේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ කාර්ය මණ්ඩලය යි.