
මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන් 835ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන් 835ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
අධ්‍යාපනයෙන් ,කුසලතාවයන්ගෙන් හා යහපත් වූ ආකල්පයන්ගෙන් පිරිපුන් දරුවකු සමාජගත කිරීමේ ප්‍රමුඛ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් රටේ කොපමණ ආර්ථික ප්‍රශ්න පැවතියත් රජයක් ලෙස අධ්‍යාපනය සදහා අවශ්‍ය කටයුතු නිසි ලෙස ඉටු කිරීමට පියවර ගෙන ඇති බවත්, රජයක් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සේවාවන් රැසක් නොමිලේ ජනතාවට වෙත ලබාදීමට පියවර ගෙන ඇති රටක පුරවැසියන් ලෙස රට වෙනුවෙන් නිවැරදිව තම යුතුකම ඉටු කරනවාද යන්න හදවතින්ම සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසූයේ ,සීමිත පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ තුන්වන ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ මධ්‍යම පළාත් උත්සවය 06 දින මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අවස්ථාවේදිය.මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පවතින කලාප අධ්‍යාපන කාර්යාල 15ව තුළ පවතින පුරප්පඩු සඳහා විදුහල්පති පත්වීම් 835 ක් ලබාදීම මෙහිදී සිදු කෙරිණ.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අධ්‍යාපනය අතින් පළාත දැනට අත් කර ගෙන ඇති තත්වයේ වෙනසක් සිදුකිරීමට විදුහල්පති ධූරයේ වගකීම මගින් විශාල හැකියාවක් පවතින බවත් දැනට පළාතේ තුළ ගුරුවරුන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක හිගයක් පවතින අතර එය ඉදිරියේදී කඩිනමින් සපුරාලමින් අනාගත දරු පරපුරේ උන්නතිය උදෙසා පියවර ගන්නා බවද කීය.රජය හා රට බලාපොරොත්තු වන අරමුණු ජය ගනිමින් සාරධර්මයන් ගෙන් පිරිපුන් දරුවෙකු ලෙස සමාජගත කිරීමේ වගකීම අද පත්වීම් ලබන විදුහල්පතිවරුන් වෙත පැවරෙන විශාලම වගකීමක් බවත්, රොබෝවරුන් නොව නිර්මාණශීලීත්වයෙන් , නව ආකල්පයන්ගෙන් හෙබි දරු පරපුරක් රටට දායාද කිරීමට වැඩි වගකීමක් විදුහල්පතිවරුන්හට පැවරෙන බවත් එය ඉටුකරමින් තමන්ගේ වගකීම නිවැරදිව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස ද ඒ මහතා කීය.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී . නිමලසිරි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් ,ආණ්ඩුකාර ලේකම් මංජුල මඩහපොල යන මහත්ම මහත්මීන් , පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී විය.